Press "Enter" to skip to content

හැමදේටම වඩා ඒ බලාපොරොත්තුව මට වටිනවා.




“මාව ගැලපෙන්නෙ නෑ කියලා තිබුණා ..”

“නර්තන කණ්ඩායම සම්පූර්ණයෙන්ම නතර කළා..”

හිමාලි සිරිවර්ධන කියන්නේ නටන්නම උපන් චරිතයක්.හැමෝගෙම හිත ආකර්ෂණය කර ගන්න විදිහට නර්තනයේ යෙදෙන හිමාලි මේ දවස්වල හිරු රූපවාහිණියේ පොඩ්ඩන්ගේ නර්තන හැකියාව උරගා බලන්න විනිශ්චයෙන් සහයෝගය දක්වනවා. නර්තනයට වගේම රගපාන්න දක්ෂ ඇය ගැන පුවත්පතක සදහන් වූ තොරතුරුයි මේ.

හිමාලි… මේ දවස්වල මොනවද කරන්නෙ…?

මේ දවස්වල හිරු සුපර් ඩාන්සර් පෝග්‍රෑම් එකේ විනිශ්චය මණ්ඩලයේ මම ඉන්නවා. ඉතින් වැඩිපුර කාලය ගත කරන්නේ ඒ වැඩසටහනට තමයි.

ඒ කියන්නේ දැන් හිමාලි රංගනය අතහැරලා. එහෙමද…?

ම්… එහෙමමත් නෑ. දැන් දවස් කීපයකට උඩදි තමයි පත්තිනි ටෙලිනාට්‍යයේ ෂූටිං ඉවර වුණේ. ඉතින් ඊටපස්සෙ නාට්‍ය කීපයකටම කතා කළා. නමුත් මේ යන විදිහත් එක්ක මම එච්චර ඒවාට ආසා නෑ. කොහොමත් මම ගොඩාක් නාට්‍යවල රඟපාලත් නැහැ. ඒ නිසා මම රඟපාන එක හරි පිළිවෙළට කරන්න, තෘප්තිමත් වෙන්න පුළුවන් නිර්මාණයකට දායක වෙන්න මම කැමතියි.

සෙන්සේෂන් නර්තන කණ්ඩායමට මොකද වුණේ..?

ඇත්තටම මේ වෙනකොට සෙන්සේෂන් නර්තන කණ්ඩායම සම්පූර්ණයෙන්ම නතර කරලා තියෙන්නෙ. දැන් ඒක නතර කරලා අවුරුද්දක් විතර වෙනවා. ඒක නතර කරන්න ප්‍රධානම හේතුව වුණේ මෙගා ස්ටාර් වැඩසටහනයි. ඒ පෝග්‍රෑම් එක නිසා මම ගොඩාක් කාර්යබහුල වුණා. කොහොමටත් මම කිසිම දෙයක් ආවාට ගියාට කරන කෙනෙක් නෙමේ. මෙගා ස්ටාර් වැඩසටහන තුළ මට උපරිම කාලයක් දීලා හොඳ නිර්මාණයක් කරන්න ඕන වුණා. ඒ කාලේ ඇතුළතත් මම එච්චර නාට්‍යවල රඟපෑවේ නෑ. නාට්‍ය දෙකකට කතා කළත් මම ඒවා බාරගත්තෙ නෑ. මම උපරිමයෙන්ම මගේ කාලය දුන්නෙ මෙගා ස්ටාර් වැඩසටහනටයි.

දැන් මෙගා ස්ටාර් ඉවරයිනෙ… ඉතින්.. දැන් සෙන්සේෂන් පටන් ගන්නෙ නැත්තෙ වෙන හේතුවක් නිසා නේද..?  

ඔව්.. ඒක ඇත්ත. මෙගා ස්ටාර් නිසා මම ඩාන්සින් ගෘෘප් එක අතරමඟ නතර කළා. ඊටපස්සෙ මේ තරගාවලිය ඉවර වුණාට පස්සෙත් මම මේක පටන් ගත්තෙ නැහැ. දැන් මේ වෙනකොට නර්තන කණ්ඩායම සම්පූර්ණයෙන්ම නතර කරලයි තියෙන්නෙ. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් මගේ පෞද්ගලික හේතුවක්. අනිත් එක දැන් නර්තන කණ්ඩායම කළා ඇති කියලා හිතුණා.

හිමාලි… ඔයා ඔය කියපු පෞද්ගලික කාරණාවට හේතුව පවුලට එකතුවෙන අලුත් අමුත්තා නේද..?

ම්… ඇත්තටම හේතුවත් ඒකම තමයි. දැන් මායි සෙනාෂුයි විවාහ වෙලා අවුරුදු ගාණක් වෙනවා. දැන් අපේ ලොකුම බලාපොරොත්තුව තමයි දරුපැටියෙක්. ඒ නිසා හැමදේටම වඩා ඒ බලාපොරොත්තුව මට වටිනවා. ඒ නිසා නර්තන කටයුතු මම නතර කළා.

පුංචි කාලෙ හීනය වෙලා තිබුණේ කවුරු වෙන්නද…?

පුංචි කාලෙ ඉඳන් මම ආසාවෙන් හිටියෙ නර්තන ශිල්පිනියක් වෙන්නයි. මට රඟපාන්න පුළුවන් කියලා මම දැනගෙන හිටියෙ නෑ. මට තේරෙන්නෙ නැති මතකෙ නැති පුංචි කාලෙ ඉඳන්ම මගේ වැඩේම නටන එක කියලයි අම්මලා මට කියන්නෙ. සින්දුවක් කොහේ දාලා තිබ්බත් මගේ වැඩේම නටන එකලු. ඒ තරමටම මට නැටුම්වලට පුදුම පිස්සුවක් තිබුණේ. ඉතින් මට තේරෙන වයසෙ ඉඳිද්දිත් මට කවුරුවත් උගන්නලත් නැතිව මම තනියම නැටුවා. මට අවුරුදු දාසයේ දි ළමයි විසිපස් දෙනෙක් එකතු කරගෙන මොරටුව සර්වෝද ශාලාවේ ප්‍රසංගයක් පැවැත්වුවා. ඒකෙ මමම තමයි ඒ නර්තන නිර්මාණය කළේ.

කොහොමද රංගනයට එකතු වුණේ?

නර්තනය කර කර ඉඳිද්දි මට වෙළෙඳ දැන්වීම්වලට ආරාධනා ලැබුණා. එහෙම වෙළෙඳ දැන්වීම් කිහිපයක් කළාට පස්සෙ තමයි මම පෙරේරාට එරෙහිව කුරේරා කියන නාට්‍යයට දායක වුණේ. හැබැයි එහෙම මට රඟපාන්න ලොකු ආසාවක් තිබුණේ නෑ. ඒත් සමන් කුමාර ලියනගේ, සඳගිරිතැන්න ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂක මාව ඒ නිර්මාණයට තෝරගත්තා. හැබැයි ඒ නාට්‍යයේ රඟපෑ ප්‍රවීණයන් පවා සමන් අයියාට කියලා තිබුණා මාව මේ චරිතයට ගන්න එපා, මාව ගැලපෙන්නෙ නෑ කියලා. ඒත්… හැම අභියෝගයක් හමුවේම මාව විශ්වාස කරලා සමන් අයියා සඳගලතැන්නට මාව තෝරගත්තා. අන්තිමේදි සඳා මගේ ජීවිතේ ලොකු වෙනසක් කළා. ඒක තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය වුණේ. මම අදටත් ඒ චරිතයට ආදරෙයි.

සැමියයි සහ හිමාලි දෙන්නම කාර්යබහුලද…?

ඔව්.. ඇත්තටම ඔව්. දෙන්නම කාර්යබහුලයි. එයා හිරු නාලිකාවේ සේවය කරනවා. අපි කොහේ හරි යනවනම්, ට්‍රිප් එකක් යනවනම්, කොහේ හරි රටකට යනවනම්, අපි කාලෙකට පෙර ඉඳන් ඒ කාලය වෙන්කර ගන්නවා. සෙනසුරාදා ඉරිදා දවස් දෙක බොහෝ වෙලාවට මම ෂූටිංවලට නොදී ඉන්නවා. හැබැයි ඉතින් සමහර දවස් දෙක තුන අහම්බෙන් හම්බවෙන වෙලාවලුත් තියෙනවා. මම ඉන්න දාට එයා නෑ. එයා ඉන්න දාට මම නෑ. කොහොම හරි මායි සැමියයි හොඳින් ඉන්නවා.

Be First to Comment

Leave a Reply