මේ දවස්වල විවේක සුවයෙන්ද..?
ලොකු විවේකයක් නැහැ. උදේට පුහුණු වීම් වලට යනවා. හවස් වරුවේ හෝ රාත්‍රියට තමයි ගෙදර ඉන්නේ. නමුත් හොදින් සතුටින් ජිවත් වෙනවා.
පසුගියදා ඉන්දියාව සමග පැවති තරග සදහා ඔබට සම්බන්ධ වෙන්න නොහැකි වුණා ආබාධයට ලක් වීමත් එක්ක. දැන් සුවයිද..?
මම එක දිගට ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක ක්‍රීඩා කළා. පසුගියදා පැවති තරග සදහා මාව තේරුණත් ක්‍රීඩා කරන්න බැරි වුණා කොන්දේ ඇති වුණු ආබාධ තත්ත්වය නිසා.ප්‍රතිකාර ලබා ගත්තා සුව තත්ත්වයක තියෙනවා.පාකිස්ථාන සංචාරය ආරම්භ කිරීමට නියමිත නිසා යළිත් පුහුණුවීම් පටන් ගත්තා.
ඔබේ ප්‍රථම සංචාරය වුණේ පාකිස්ථාන සංචාරය.ඒ සංචාරයේදීම ලාහෝර් වලදී ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයකට ලක් වුණා. ඒ මොහොතේ මොකද හිතුණේ..?
මගේ ප්‍රථම සංචාරය නිසා මම කොහොමත් තිගැස්මකින් හිටියේ. පීඩනයත් දැණුනා. ඒත් එක්කම අපි ගමන් ගත් බස් රථයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. ඇත්තටම ඒ මොහොතේ මට දැනුණේ මමත් මැරෙයි කියන හැගීම. මම හිතුවෙම මට නැවතත් ලංකාවට යන්න බැරි වෙයි කියලා. පුදුම භයකින් හිටියේ. නමුත් අපිට ලොකු කරදරයක් වුණේ නැහැ. ඊළග සංචාරය යෙදිලා තිබෙන්නෙත් පාකිස්තානයට.
එදා කණ්ඩායමේ හිටි ක්‍රීඩකයින්ගෙන් ඔබ පමණයි මෙවර සංචාරයට එකතු වෙන්න අවස්ථාව ලබන්න ඉන්නේ. යළිත් පාකිස්ථානයට යන්න බයක් හිතෙන්නේ නැද්ද..?
තවම සංචිතය තෝරලා නැහැ. නමුත් අනිවාර්යයෙන්ම මටත් අවස්ථාවක් ලැබෙයි කියලා විශ්වාස කරනවා. ක්‍රීඩකයෙක් විදිහට අපි ක්‍රීඩා කරන්නේ රට වෙනුවෙන්. ඒ නිසා මාව ක්‍රිකට් මණ්ඩලය විසින් තෝරා ගත්තොත් මට අනිවාර්යෙන්ම යන්න වෙනවා. මම යනවා. දෙවනුව තමයි ජිවිතේ ගැන හිතන්න වෙන්නේ. බයක් නම් නැහැ. ඒත් එදා සිදුවීම අමතක නැහැ. පසුගිය කාලයේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම එක දිගට පරාජය වෙන්න පටන් ගත්තා.
ප්‍රවීණ ක්‍රීඩකයින් අතලොස්සකගේ හා නවකයින් වැඩිදෙනෙකුගේ සහභාගිත්වයෙන් ක්‍රීඩා කරන්න ලැබෙන්නේ. පරාජය වීම ගැන ඔබට මොකද හිතෙන්නේ..?
පන්දු යවන්නන්ගෙන් රංගන හැරුණු කොට වැඩිමහල් ක්‍රීඩකයෙකුට ඉන්නේ මම විතරයි. අපි කවුරුත් දිනන්න තමයි මහන්සි ගන්නේ. ක්‍රීඩාව කියන්නේ පරාජයන් වගේම දිනුම් හිමි දෙයක්. අපි ලෝක මට්ටමෙන් හොදින් ක්‍රීඩා කරලා තියෙනවා. මම නම් පුද්ගලිකව ලැජ්ජා වෙනවා අපිට ඉන්දියාව පරාජය කරන්න බැරි වුණාට. මට වගේම හැම ක්‍රීඩකයෙකුටම ඒ දුක දැනෙනවා. කොහොම නමුත් ඉදිරි සියලු තරග නව මුහුනුවරකින් ක්‍රීඩා කරන්න වගේම පෙර වැරදි හදාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගන්න තත්ත්වයකට ගෙන්න අපි උත්සහ කරනවා.
ඉන්දියාව සමග පැවතී තරගයේදී ඔබ ක්‍රීඩා කළා නම් පන්දුවෙන් දක්ෂතා දක්වන්න පුළුවන් කියලා ඔබ හිතනවද..?
මම තරග නරබුවා. මම හිටියා නම් මටත් යම් තරමින් දායක වෙන්න තිබුණා. ජයගන්න අවස්ථා තිබුණා කියලා හිතෙනවා.මොකද මට ඉන්දියාව එක්ක ක්‍රීඩා කරන්න ලැබුණු මුල් අවස්ථාව එයයි.
බොහෝ දෙනා කියන්නේ නම් තරග පවා දුන්නා කියලයි..?
පිට්ටනියට බහින්නේ ක්‍රීඩකයෝ. අපි ක්‍රීඩා කරන්නේ රට වෙනුවෙන්. ඔය කියන කතාව මම නම් ප්‍රතික්ෂේප කරනවා. කණ්ඩායමක් විදිහට අපි ජාත්‍යන්තර තරග බොහෝ ජයග්‍රහණ කරලා තියෙනවා. ජය ගන්න මොහොතේ අත්පුඩි ගහලා මල්මාලා දාලා පිලිගන්නවා. පරදින දවසට චෝදනා කරනවා. දොස් කියනවා. ක්‍රීඩකයින් ගැන වැරදියට හිතන්න එපා. අපිව මානසිකව වට්ටන්න එපා. මනුස්සයෙක් වැටිලා ඉන්නකොට තමයි උදව් කරන්න ඕන ශක්තියක් වෙන්න. අපි කොහොම හරි නැවතත් ක්‍රිකට් ඉදිරියට ගේනවා. ඒකට හැම ක්‍රීඩකයෙක්ම මහන්සි වෙනවා කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ.
කාර්ය බහුල ක්‍රීඩකයෙක් විදිහට පවුලට මුලිකත්වය වෙන්න බැරිව ඇති..?
මම ක්‍රීඩකයෙක් විදිහට ඇත්තටම කාර්ය බහුලයි. නමුත් ගෙදර මගේ බිරිදව පුතාව මම මග හරින්නේ නැහැ. වෙලාව තියෙන හැම මොහොතේම ඒ අය එක්ක ඉන්නේ. ගෙදර සියලු වැඩ කරන්නේ මගේ බිරිද. එයා තමයි මාව ඒ පැත්තෙන් නිදහස් කරන්නේ.
ක්‍රීඩකයෙක් විදිහට නිරන්තරයෙන් ආබාධ වලට ලක් වෙනවා. ඒ ජිවිත අවධානම එක්ක ඔබ මානසිකව වැටුණු මොහොතේ බිරිදගෙන් ලැබෙන සහයෝගය කොහොමද..?
තරග පැරදිලා දුක් වුණොත් එයා කියන්නේ දුක් වෙන්න එපා. තව තරග තියෙනවා ඒවා දිනන්න මහන්සි වෙන්න කියලා. මම අබාධ වෙනකොට කියන්නෙත් දුක් වෙන්න එපා හොද වෙයි කියලා. නමුත් මට නොපෙනෙන්න එයා දුක් වෙනවා අඩනවා ඇති. මම දන්නවා මට ක්‍රිකට් නැති වුණත් ජිවිතේට එයා නම් මාව දාලා යන්නේ නැහැ කියලා. එයාට ක්‍රීඩකයා කියන සුරංග ලක්මාල්ට වඩා එයාගේ සැමියාව වටිනවා. ඒ වගේම් මම මහන්සි වෙලා ගෙදර යද්දී මගේ මහන්සිය නැති වෙනවා මගේ පුතාව දකිද්දී. එයාට දෙසැම්බර් මාසෙට අවුරුදු තුනක් ලබනවා. එයාගේ හුරතල් එක්ක ජිවිතේ හරිම සතුටින් ගෙවෙනවා.





Be First to Comment