Press "Enter" to skip to content

දුමින්ද සිල්වා, භාරත ලක්ෂ්මන් ඝාතනයට සම්බන්ධ බවට සාක්ෂිකරුවන් සාක්ෂි දුන්නේ හිරුණිකාගේ පෙළඹවීම මතද?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට එරෙහිව කොළඹ මහාධිකරණය ලබාදුන්නේ නීත්‍යානුකුළ තීන්දුවක් නොවන බව ජනාධිපති නීතිඥවරුන් ඊයේ (10) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඔප්පු කළා.

මේ සම්බන්ධයෙන් ගොනුකළ අභියාචනය විභාගයට ගත් අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරුන් පෙන්වා දුන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වරදට පත් කිරීම සදහා ඉදිරිපත් කළ සෑම සිද්ධියකම සාක්ෂි, පරස්පර බව හා කිසිදු සාක්ෂිකරුවෙකුගේ සාක්ෂි සියයට සියයක් පිළිගත නොහැකි බව, නඩු තීන්දුවේම සදහන් බවයි.

අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සිව්වන දිනටත් මෙම අභියාචනය ඊයේ විභාගයට ගැණුනා.

එහිදී කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න සදහන් කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වරදට පත් කිරීම සදහා ගෙතූ, බොරු සාක්ෂිවල ලූහුඩුතා සහ පරස්පරතා සැලකිල්ලට නොගැනීම පිළිබදව හේතු දැක්වීමක්, නඩු තීන්දුවේදී සිදු නොකළ බවයි.

ඌණතා හා පරස්පරතා සහිත සාක්ෂි මත පදනම් වී පුද්ගලයෙකු වැරදිකරුවෙකු කිරීමේදී ප්‍රවේශම් සහගත විය යුතු බව, මීට පෙර නඩු තීන්දුවල සදහන් බව ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මෙහිදී පෙන්වා දුන්නා.

අධිකරණ සම්ප්‍රදායේදී පෙර නඩු තීන්දුවල සදහන් කරුණු අනුගමනය කළත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වරදකරු කර ඇත්තේ ඒවා නොසලකා බවයි ඔහු කියා සිටියේ.

ජනාධිපති නීතිඥවරයා තවදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඔප්පු කළේ ඔහු  වරදට පත් කිරීම සදහා ඉදිරිපත් කළ සෑම සිද්ධියකම සාක්ෂි පරස්පර බවත්, කිසිදු සාක්ෂිකරුවෙකුගේ සාක්ෂි සියයට සියයක් පිළිගත නොහැකි බව, නඩු තීන්දුවේම සදහන් බවයි.

මෙවැනි තත්ත්වයක් මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට කිසිදු චෝදනාවකට දඩුවම් දීම නීත්‍යානුකූල නොවන බව ජනාධිපති නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ ප්‍රකාශ කළා.

අභියාචනය විභාගයට ගත් මීට පෙර අවස්ථාවන්හිදී ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න කියා සිටියේ සාක්ෂි හෝ කරුණු මත නොව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනප්‍රිය දේශපාලන චරිතයක් වීම මත පදනම් වෙමින් නඩු තීන්දුව ලබාදී ඇති බවයි.

නඩු තීන්දුව ලක්ෂ වාරයක් කියවුව ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වරදකරුවෙකු කළේ මන්දැයි සොයා ගත නොහැකි බව ඔහු සදහන් කළා.

මේ නිසා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වරදකරු කළ තීන්දුව සැබවින්ම නියම නඩු තීන්දුවක් නොවන බව ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ඔප්පු කළා.

මේ අතර, ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා ද සදහන් කළේ කොළඹ මහාධිකරණය ලබාදුන් තීන්දුවේ අඩුපාඩු රැසක් පවතින බවයි.

නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂී සාධාරණ සැකයකින් තොරව ඔප්පු වන්නේ දැයි සොයා බැලීමකින් තොරව රජයේ නීතිඥවරුන්ගේ ප්‍රකාශ මත පමණක් පදනම් වෙමින් විනිසුරුවරිය සිය තීන්දුව ලබාදී ඇති බව ඔහු කියා සිටියා.

ගිනි අවි භාවිත කළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට චෝදනා ගොනුකර තිබූ අතර, ඒ සදහා කිසිදු සාක්ෂියක් නඩු විභාගයේදී ඉදිරිපත් නොවූ බවයි ජනාධිපති නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට වෙඩි වැදුණු සිද්ධිය භාරත ලක්ෂ්මන් පාර්ශවය විසින් ආරම්භ කර තිබුණ ද, තීන්දුව ලබාදීමේදී එය නොසලකා හැර ඇති බව ඔහු සදහන් කළා.

ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා තවදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙන්වා දුන්නේ සාවද්‍යව නිර්මාණය කරන ලද සිද්ධි හා සාක්ෂි මත පදනම් වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ පාර්ශවයෙන් ඉදිරිපත් වූ කරුණු හෙවත් විත්ති වාචික නොසලකා හරිමින් මහාධිකරණයේ නඩු විභාගය සිදුවී ඇති බවයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ ප්‍රතිරූපය විනාශ කිරීම සදහා ගොනුකළ මෙම නඩුවේදී සිය සේවාදායකයාට සෑම පුරවැසියෙකුටම හිමිවිය යුතු සාධාරණ නඩු විභාගයක් නොලැබුණු බවයි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා සදහන් කළේ.

එම නිසා නීතියට පටහැනිව දඩුවම් දෙමින් ලබා දුන් නඩු තීන්දුව අහෝසි කර සියලූ චෝදනාවලින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස් කරන ලෙස ජනාධිපති නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.

අභියාචනයේ වැඩිදුර විභාගය ලබන 14 වනදා යළි සිදුකිරීමට නියමිතයි.