“මට මේ දේවල් කතා කිරීමෙන් කිසි දෙයක් ලැබෙන්නෙ නැහැ”
“මම මේ ගැන කිසිම දෙයක් හෙළි කළේ නැහැ. කිසිම කෙනෙකුට..”
16 හැවිරිදි වියේදී තමන් ලිංගික අතවරයකට ලක්වූ බව ලෝකයෙන් වසන් කළේ මන්ද යන්න, අමෙරිකානු ගත් කතුවරියක් සහ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වන පද්මා ලක්ෂ්මී පැහැදිලි කර තිබේ. නිව්යෝක් ටයිම්ස් (New York Times) පුවත්පතට අදහස් දක්වමින්, මේ වන විට 48 වන වියේ පසුවන ඇය සඳහන් කර ඇත්තේ, තමන් එවකට සිය පෙම්වතා අතින් ලිංගික අතවරයකට ලක්වූ බව ය.
එහෙත්, එය තමන්ගේ වරදින් සිදුවූ දෙයක් ලෙස තමන් කල්පනා කළ බව ත්, කාන්තාවන් ලිංගික අතවර සම්බන්ධයෙන් මුනිවත රකින්නේ මන්ද යන්න ඉන් වටහා ගත් බව ත් ඇය පවසයි.
අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස යෝජිත බ්‍රෙට් කැවනෝට එරෙහිව කාන්තාවන් දෙදෙනෙකු එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කර ඇති ප්‍රකාශයට දී ඇති පිළිතුරක් ලෙස පද්මා ලක්ෂ්මීගේ ප්‍රකාශය දැඩි අවධානයට ලක්ව තිබේ.
මීට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් මගින් සඳහන් කර තිබුණේ, ශ්‍රේෂ්ඨාධිකරණ යෝජිත විනිසුරුවරයාට එරෙහිව නගන චෝදනා සැක සහිත බව ය.
බ්‍රෙට් කැවනෝ තමන්ට 1980 වසරේදී ලිංගික අතවර කළ බවට ක්‍රිස්ටීන් බ්ලැසී ෆෝර්ඩ් නමැති කාන්තාවක් කළ චෝදනා ඔහු දිගින් දිගට ම ප්‍රතික්ෂේප කළේ ය.
මේ සම්බන්ධයෙන් මෙම සතියේ අමෙරිකානු සෙනෙට් කණ්ඩායමක් ඉදිරියට කැඳවා ඇයගෙන් ප්‍රශ්න කිරීමට ද නියමිත ය.
ට්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩයට පද්මා ලක්ෂ්මී පිළිවදන් දෙයි
පද්මා ලක්ෂ්මී නිව්යෝක් ටයිම්ස් පුවත්පතට පවසා ඇත්තේ, “ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයෙන් පවසා තිබුණා, ක්‍රිස්ටීන් ෆෝර්ඩ්ගේ චෝදනා සත්‍ය නම් ඇයට ඒ සම්බන්ධයෙන් වසර ගණනකට කලින් පොලිසියට වාර්තා කරන්න තිබුණ බව. ඒත්, කාන්තාවන් එවැනි තොරතුරු පොලිසියට නොකියා සඟවාගෙන ඉන්නෙ ඇයි කියල මට තේරුම් ගන්න පුළුවන්. මීට වසර ගණනකට පෙර මමත් කළේ ඒකමයි”
පද්මා ලක්ෂ්මී එවකට 23 වන වියේ පසුවූ සිය පෙම්වතා මුණ ගැසී ඇත්තේ, ඔහු ලොස් ඇන්ජලීස්හි රැකියාවක් කරමින් සිටියදීය.
ඒ අතරතුර දිනයක ඇය සිය පෙම්වතා සමග ඔහුගේ නවාතැන වෙත ගිය අවස්ථාවක සිය පෙම්වතා තමන්ට ලිංගික අතවර කළ බව ඇය පවසයි.
එම අවස්ථාවේදී ඇය ඊට දැඩි විරෝධයක් පළ කළ ද පළක් වී නොමැත.
“මම මේ ගැන කිසිම දෙයක් හෙළි කළේ නැහැ. මගේ මවටවත්, මිතුරන්ටවත්, පොලීසියටවත් කිව්වෙ නෑ”
එසේ තමන්ට සිදුවූ අතවරය සඟවා තබා ගැනීමට හේතුව ද ඇය පැහැදිලි කළා ය. “ඒ අතවරය ගැන කිසිම සාක්ෂියක් මට තිබුණෙ නැහැ. පෙම්වතාගේ නිවසට ගියේ ඇයි ද? යන්න පිළිබඳව විමසා තමන්ට වැඩිහිටියන්ගෙන් ප්‍රශ්න එල්ල වෙන්නත් තිබුණා”
“මට මේ දේවල් කතා කිරීමෙන් කිසි දෙයක් ලැබෙන්නෙ නැහැ” එහෙත්, අතවරයට ලක්වූ අවස්ථාවේ අදාළ කාන්තාවන් පොලිසියට පැමිණිලි නොකිරීම ඩොනල්ඩ් ට්‍රම්ප් කර ඇති ප්‍රකාශයට පිළිවදන් දෙමින් පද්මා ලක්ෂ්මී පෙන්වා දුන්නේ, “ලිංගික අතවර පිළිබඳව සත්‍ය තොරතුරු පමාවී හෙළි කිරීමෙන් කාන්තාවන්ට ගොඩක් දේ අහිමි විය හැකි” බවය.
පද්මා ලක්ෂ්මී කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල දැඩි ප්‍රසාදයක් පළ වී තිබිණි.




