අන්තර්ජාතික ක්රිකට් පිටියට නැවත එක්වීමේ සූදානමක් සම්බන්ධයෙන් හිටපු ක්රීඩක තිලකරත්න ඩිල්ෂාන් කළ ප්රකාශයක් සම්බන්ධයෙන් තේරීම් කමිටු සභාපති ග්රෑම් ලැබ්රෝයි අදහස් දක්වා තිබේ.
එහිදී ඔහු පවසා ඇත්තේ වසර ගණනක් ක්රිකට් පිටියෙන් ඈත්වි සිටි ක්රීඩකයෙකුට එය අපහසු වනු ඇති යන්නයි.
“වසර දෙකක් අන්තර්ජාතික තරග බිමෙන් ඈත්වෙලා හිටපු ක්රීඩකයකුට මේ දේ ටිකක් අමාරුයි. අනෙක එහෙම පුළුවන් නම් ඇයි අපි කුමාර් සංගක්කාරට එන්න නොකියන්නේ”යනුවෙන් තේරීම් කමිටු සභාපතිවරයා එහිදි වැඩිදුරටත් සඳහන් කර ඇත.
මෙහිදී ආසියානු කුසලනායට තෝරාගත් කණ්ඩායම සම්බන්ධයෙන්ද ග්රෑම් ලැබ්රෝයි පවසා ඇත.
“තේරීම් කමිටුවක් හැටියට අපි මේ තරගාවලියට තෝරාගත්තේ හොඳම කණ්ඩායම කියන එක ගැන අපට විශ්වාසයක් තිබුණා. පසුගිය මාස හයක කාලය පුරාම අපි එක්දින කණ්ඩායම වෙනුවෙන් ක්රීඩකයන් හොයමින් හිටියේ. විශේෂයෙන්ම ලෝක කුසලාන තරගාවලිය ඉදිරියේ එන නිසා අපි ඒ ගැන හොඳ අවධානයකින් හිටියේ.”
“ඒත් ආසියානු කුසලාන තරගාවලියේදී අපේ ස්ථාවරය තරමක් වෙනස් වුණා…..මේක ද්වි පාර්ශ්වික තරගාවලියක් නෙමේ. ඒ නිසා මේ තරගාවලිය අපි දිනන්න ඕන. ඒ නිසා පුහුණුකරුවන්ගේ අදහසුත් සැලකිල්ලට ගත් අපි මේ සඳහා තෝරාගත්තේ තරගාවලිය දිනන්න පුළුවන් කණ්ඩායමක්…..ඒ නිසා අපි ඩිල්රුවන් පෙරේරා කැඳවාගත්තේ පළපුරුදු, විශේෂඥ දඟ පන්දු යවන්නකු ඕන නිසායි. ඒ පළමු තරග දෙකට අකිල ධනංජය නොසිටි හින්දයි. ඔහු කොයි වෙලාවේ කණ්ඩායමට එකතු වෙනවාද කියා අපි දැනගෙන හිටියේ නෑ”




