Press "Enter" to skip to content

“රාජකාරි කාලය තුළ අර්ජුනට පඩියක් දුන්නා. නමුත් ඒ මුදල් අපි කාලා බිලා විනෝද වුණේ නැහැ..” – අමිෂා කාවින්දි – Exclusive – Photos

“මම බබෙක් ඉන්න අම්මා කෙනෙක්..”

“එහෙම ආරාධනාවක් ලැබුණොත් කෙළින්ම ප්‍රතික්ෂේප කරනවා..”

පුංචි තිරයේ වගේම රිදී තිරයේදී අමිෂා කාවින්දි කියන චරිතය නිරන්තරයෙන් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් ඉදහිට දැක්කත් ඇයව හඳුනන ඇයට ආදරේ කරන පිරිසක් ඉන්නවා. රිදී තිරයේදී අර්ජුන කමලනාත්ගේ ආදරණිය පෙම්වතිය වුණු අමිෂා සැබෑ ජීවිතයේදී දැන් අර්ජුනගේ ආදරණිය බිරිඳ බවට පත් වෙලා. මේ අමිෂාගේ අලුත් තොරතුරු ගැනයි.
අමිෂා අලුත් අවුරුද්ද කොහොමද..?

ලැබුවා වූ අලුත් අවුරුද්ද සතුට පිරුණු අවුරුද්දක් වෙයි කියලා හිතනවා.මේ අවුරුද්දේ මාර්තු වල අර්ජුන අයියා අධ්‍යක්ෂණය කළ ඉසුරු ෆිල්ම්ස් නිෂ්පාදනය කළ කුසල් ළමා චිත්‍රපටය තිරගත වෙනවා. ඒක සතුටු වෙන්න පුළුවන්. හිරු රූපවාහිනිය තමයි මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ. බලමු මොනවා වෙයිද දන්නේ නැහැ. අවුරුද්ද පටන් ගත්තා විතරයිනේ.

ගෙවුණු අවුරුද්දේ ඉලක්ක කරගත් බලාපොරොත්තු ඉටු වෙන්න ඇති ..?

ඔව්. මම ගිය අවුරුද්දේ හිතුවේ හොද නිර්මාණ ටිකකට සම්බන්ධ වෙන්න ලැබෙන්න කියලා. මම බලාපොරොත්තු වුණු විදිහටම හොද චරිත ලැබුණා. ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ ඝර සර්ප චිත්‍රපටයට සම්බන්ධ වුණා. ප්‍රවීණයින් එක්ක ඒ නිර්මාණයේ වැඩ කරන්න ලැබීමම සතුටක්. චරිතයත් හොදයි. ඒ වගේම සුරංග අල්විස්ගේ කිඩ්නැප් චිත්‍රපටයටත් සමබන්ධ වුණා.

අමිෂාට පුංචි තිරය අමතක වෙලාද එහෙම නැත්තම් පුංචි තිරයට නිර්මාණ එකතු කරන අධ්‍යක්ෂවරුන්ට අමිෂාව අමතක වෙලාද..?

මම හිතන විදිහට ඔය දෙකම වෙලා නැහැ. මට ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙනවා. මම කාර්ය බහුල වෙන්න කැමති කෙනෙක් නෙමෙයි. මට ඕන නිදහසේ වැඩ කරන්න. ගෙදරට වෙලා ඉන්න. ඒ නිසා එන ආරාධනා ගොඩක් මම ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම මට පුංචි තිරය අමතක කරන්නත් බැහැ. සෑහෙන කාලෙකට පස්සේ ගිය අවුරුද්දේ ටෙලි නාට්‍යකට සම්බන්ධ වුණා.

ඉදහිට නිර්මාණ වලින් ජනතාව අතරට එන නිසා අමිෂාව බොහෝ දෙනෙක්ට අමතක වෙයි කියලා හිතෙන්නේ නැද්ද..?

මම කොහොමත් මහලොකුවට ජනප්‍රිය කෙනෙක් නෙමෙයි. මාව දැක්කම කතා කරන හිනා වෙන පිරිසක් ඉන්නවා. මාව අදුරගන්න පිරිසක් ඉන්නවා. හොද නිර්මාණයකින් ජනතාව අතරට යන එක හොදයි. ගොඩක් නිර්මාණවල ඉන්නවට වඩා. ඒ නිසා ප්‍රේක්ෂකයින්ට මාව අමතක වෙයි කියලා හැම නිර්මාණයක්ම භාර ගන්නේ නැහැ. මේ යන විදිහ හොදයි.

අමිෂා කියූ ගමන්ම හැමෝටම මතක් වෙන්නේ අමිෂාගේ විලාසිතා. වැඩිපුරම ශරීරය ආවරණය වෙන විලාසිතා කරන අමිෂා නිර්මාණ භාර ගන්නෙත් විලාසිතා බලලද..?

මම කොහොමත් විලාසිතා කරනවා. මට ගැළපෙන විදිහට. ඒ වගේම නවීන පන්නයේ චරිත විතරක් භාර ගන්නේ නැහැ. ගැමි චරිතත් කරනවා. පිටපතේ ඉන්න චරිතයට අවශ්‍ය විදිහට විලාසිතා භාවිතා කරන්න මගේ අකමැත්තක් නැහැ. කිඩ්නැප් චිත්‍රපටයේ මම බබෙක් ඉන්න අම්මා කෙනෙක්. කැම්පස් යන කාලේ දර්ශනත් තිබුණා. ඝර සර්ප එකෙත් දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්.

දැන් ඡන්දය ළඟයි. ජනප්‍රිය චරිතයක් නිසා දේශපාලනයට එන්න කියලා ඇරයුම් ලැබිලා ඇති..?

අද වෙනකල්ම මට නම් දේශපාලනය කරන්න එන්න කියලා කිසි කෙනෙක් ආරාධනා කරලා නැහැ. ඒ ගැන මට දැනුමකුත් නැහැ. ආරාධනා ලැබුණත් මම පිළිගන්නෙත් නැහැ. කෙළින්ම ප්‍රතික්ෂේප කරනවා.

අර්ජුන කියන්නෙත් බොහෝ දෙනෙක් ආදරේ කරන චරිතයක්. නමුත් පසුගිය කාලයේ ඔහු හමුදා සේවයට අනියුක්ත වී වැඩ නොකර වැටුප් ලබා ගත්තා කියලා චෝදනාවක් එල්ල වුණා. බිරිඳ විදිහට ඒ ගැන ඔබට මොනවාද කියන්න තියෙන්නේ..?

තිබුණු යුධ වාතාවරණය එක්ක 2007 වර්ෂයේ කලාකරුවන් කිහිපදෙනෙක් තෝරා ගත්තා යුධ හමුදාවේ විනෝදාස්වාදය උදෙසා කියලා. එතැනදී අධ්‍යාපන සුදුසුකම් බලලා මෙඩිකල් ටෙස්ට් කරලා තමයි ගත්තේ. තනතුරක් දෙන්න ඕන නිසා සැරයන් තනතුරට බදවා ගත්තේ. ඇත්තටම රාජකාරි කාලය තුළ පඩියක් දුන්නා. නමුත් ඒ මුදල් අපි කාලා බිලා විනෝද වුණේ නැහැ. ඒ මුදලින් අපි ජිවත් වුණේත් නැහැ. ඒ මුදල් ඒ සදහාම තමයි යෙදෙව්වේ. අර්ජුන ඒ වෙනුවෙන් කැප වුණා කියලා දන්න අය දන්නවා. අපි ඒ කාලේ ප්‍රකොටිපතියෝ නෙමෙයි. ඒ වගේම ඒ ප්‍රශ්නේ දැන් ඇදලා ගත්තේ මොන හේතුවකටද කියන්න දන්නේ නැහැ. දියුණු වෙනවා ඉවසගන්න බැරි පිරිසක් මඩ ගහනවා කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඒ වගේම මේ වගේ අවස්ථාවලට නැවතත් එයාට කතා කළොත් එයා ඒවාට සම්බන්ධ වෙලා වැඩ කරයි. මමත් එයාට උදව් කරනවා.

ඔබත් තනතුරක් දරුවා කියලත් කතාවක් ගියා..?

ඒක අමුලික බොරුවක්. මම කිසිම තනතුරක් දැරුවේ නැහැ. අර්ජුනට උදව් කළා විතරයි. අනික ඒ වගේ දෙකට අවශ්‍ය සුදුසුකම් මට තිබුණේ නැහැ.

පුද්ගලික ජිවිතේ කොහොමද කියලා කිව්වොත්..?

හරිම සතුටින් ජිවත් වෙනවා මමයි අර්ජුන අයියයි. හොදට කාලා බිලා විනෝදෙන් ඉන්නවා.

හොදට කාලා බිලා ශරීරය මහත් වෙනකොට කෙට්ටු වෙන්න ජිම් යනවත් ඇති..?

මම ගොඩක් මහත කෙනෙක් නෙමෙයි. මාව දකින සමහර අය අහන්නේ ඔයා මෙච්චර චුටි කෙනෙක්ද කියලා. මහත නැහැනේ පුංචියිනේ කියන අයත් ඉන්නවා. මාව ස්ක්‍රීන් එකට ගොඩක් මහතට පේනවා. මම කොහොමත් ජිම් යන්නේ නැහැ. ගොඩක් මහත් වෙනවා වගේ දැනුනොත් නර්තනය කරනවා. සුම්බා නර්තන ව්‍යායාම කරන එක තමයි කරන්නේ. එහෙම නැතුව මට නම් ජිම් ගිහින් යකඩ උස්සන්න බැහැ.

එතකොට ගෙදර උයන පිහන දේ කරන්න දන්නවද..?

හොදටම ඕනෑම කෑමක් හදන්න මට පුළුවන්. ගෙදර උදව්වට කෙනෙක් ඉන්නවා. මම ගෙදර ඉන්නකොට අර්ජුන කියන්නේ මට උයන්න කියලා. එයා කැමති මම උයන කෑම කන්න. ඒ නිසා මම ගෙදර ඉන්නකොට හැම වැඩක්ම කරනවා.

හර්ෂණී වීරරත්න