ලස්සන සැමදේ මොහොතට සුවදේ” කියලා කියමනක් තරුණ ඔයාලා අහලා තියෙනවද..? එහෙම වුණා කියලා ලස්සන දේවල්වලට ඇති ඇගයීමේ බිංදුවක තරම්වත් අඩුවක් වෙන්නේ නෑ. ඒත් ඇත්තටම හිතන්න ඕනා දෙයක් මෙතැන තියෙන බව කියන්න ඕනා. පොඩි කාලේ ඉඳලම අපි කවුරුත් දකින්න ආසා කරන්නේ ලස්සන දේවල්.
ගැහැනු ළමයි පොඩි කාලේ ලස්සන ලස්සන බෝනික්කන්ට ආසා කරනවා. පිරිමි ළමයි ලස්සන ලස්සන සෙල්ලම් බඩුවලට ආසා කරනවා. ලස්සනට හිත කාන්දමකට වගේ නිරායාසයෙන්ම ඇදිලා නිසා පොඩි කාලේ විතරක් නෙවෙයි තරුණ වියට එළැඹුණාට පස්සෙත් අපි හැමෝම ආසා කරන්නේ ලස්සනටයි. ඒ වගේම ලස්සනට ඉන්නත් ආසා කරනවා.
තරුණ ගැහැනු ළමයි කඩවසම් පිරිමි ළමයින්ට ආකර්ෂණය වෙනවා. පිරිමි ළමයි ලස්සන ගැහැනු ළමයෙක් දැක්කම දෙපාරක් හැරිලා බලනවා. මෙන්න මේ දේවල් අපි වුවමනාවෙන්ම කරන ඒවා නෙවෙයි. ඒවා සිතිවිලි එක්ක ඉබේට ම සිද්ධ වෙන දේවල්. ලස්සන දේවල් නිතරම නෙතට රසඳුනක් කියන්නේ ඒකටයි.
ඒත් එතැනින් එහාට ගිය යථාර්ථයක් මේ අතරේ තියෙන බව තරුණ ඔයාලා දැනගන්නම ඕනා. කොයිතරම් ලස්සන වුණත් සමහර ගැහැනු ළමයි හරිම නපුරුයි. කොයිතරම් කඩවසම් වුණත් සමහර පිරිමි ළමයි හරි දඩබ්බරයි. ඒත් එහෙම වුණා කියලා සමාජයේ ඒ ලස්සන ගැහැනු ළමයින්ට, කඩවසම් පිරිමි ළමයින්ට ඇති ආකර්ෂණය පොඩ්ඩක්වත් අඩුවෙන්නෙ නෑ.
ඒත් එක්ක ගත්තම ඔයාලගේ ඉස්කෝලේ පන්තියේ ඉන්න ළමයි අතරේ එහෙමත් නැතිනම් ඔයාලාගේ පාසල් කාලයේ පන්තියේ හිටපු කැතම කැත ගැහැනු ළමයෙක්..කැතම කැත පිරිමි ළමයෙක් ගැන පොඩ්ඩක් හිතලා බලන්න. එහෙම අය පන්තියේ අනිත් ළමයින් අතරේ කොයිතරම් නම් කොන්වෙන්න ඇත්ද..? ඒ වගේම කොයිතරම් නම් අපහාසයට උපහාසයට ලක් වෙන්න ඇත්ද..? අදටත් වෙනවා. හෙටත් එහෙම වේවි.
ඒත් ඒ වගේ කැත ළමයින්ගේ හිත කොයිතරම් නම් සංවේදිද..කොයිතරම් නම් ලස්සනද කියලා ඔයාලා පොඩ්ඩක් කල්පනා කරලා බලලා තියෙනවද..? නෑ නේද…ඒ වගේ කැත ළමයි අධ්‍යාපනය අතින් කොයිතරම් ඉහළින් හිටියාද කියලා ඔයාලට මතකයිද…?
කතාවක් තියෙනවා… “Brain is better than Beauty”කියලා.
එතැනින් කියන්නේ ලස්සනට වඩා නුවණ, බුද්ධිය තමයි වැදගත් කියන එකයි. ලස්සන කියන්නේ හැමදාම එක විදිහට පැවතෙන දෙයක් නෙවෙයි. ඒත් බුද්ධිය කියන්නේ වයසට යන්න යන්න මුවහත් වන ආයුධයක්. ඒක තමයි කෙනෙකුගේ නොපෙනෙන ලස්සන ම දේ වෙන්නේ. ලෝක ඉතිහාසය ගත්තම ඔයාලා දන්නවද මේ ලෝකයේ පැවැත්මට වැඩිපුර ම උර දුන්න බහුතර පුද්ගලයන් හැමෝම වාගේ රූපයෙන් කිසි ම ලස්සනක් නැති පුද්ගලයන් කියලා. ඒ වගේ පුද්ගලයන් විද්‍යාව, දර්ශනය, දේශපාලනය අතින් වගේ ම කලාව අතිනුත් මේ ලෝකය ඉහළට ඔසවා තැබීමට සමත්වූ ජන කොට්ඨාසයක් බවට පත්වෙලා හිටියා.
නළු නිළියන් ගත්තම වුණත් එහෙමයි. ගායක ගායිකාවන් වුණත් එහෙමයි. ලෝකප්‍රකට චිත්‍ර ශිල්පීන්, නිර්මාණ කරුවන් බහුතරයක් ම ලෝකය ජයගත්තේ එයාලගේ ලස්සන රූපයෙන් නෙවෙයි. බුද්ධියෙන්. හැකියාවෙන්. ඒ හැකියාව දවසින් දවස වැහැරෙන ලස්සන වගේ නෙවෙයි. දවසින් දවස මුවහත් වුණු දෙයක්. එයාලා ඒ අතින් දවසින් දවස ලෝකය ලස්සන කළා. ජීවිතය ජයගන්න අවශ්‍ය වෙන්නේ ලස්සන නෙවෙයි බුද්ධිය.
ඔයාලා ආදරය කරන්න හීන මවන ලස්සන ගැහැනු ළමයාට වඩා, කඩවසම් පිරිමි ළමයාට වඩා දහස් වාරයක් හිතින් ලස්සන ඒත් රුවෙන් අවලස්සන අය කොයිතරම් නං ඉන්නවද..ඒත් කාගෙත් ආදරය එයාලාට හිමිවෙන්නෙ නෑ. කවුරුවත් එයාලට ආදරය කරන්න ලෙහෙසියෙන් පෙළඹෙන්නෙ නෑ. ඒත් සමහර විට ලස්සන කෙනෙකුට වඩා දහස් වාරයක් ඉහළින් ඔයාලට ආදරය කරන්න.. සදාකාලිකවම ඔයාලා ආදරයෙන් රැක බලාගන්න… ඒ වගේ රුවෙන් ලස්සන නැති, ඒත් ගතිගුණ අතින් ලස්සන බුද්ධිමත් පුද්ගලයන් ඉන්නවා.
ගොඩක් වෙලාවට තරුණ පරපුර මෙන්න මේ යථාර්ථය දකින්නේ නෑ. ඒක අත්විඳින්නේ නෑ. ලස්සන මත්තෙ ම ජීවිතය ගෙවන්නට ආසා කරන තරුණ ගැහැනු ළමයි, තරුණ පිරිමි ළමයි ජීවිතය වල්මත් කරගන්නා එක්තරා අවස්ථාවක් තමයි ඒ වගේ ලස්සනට වහල්වීම කියන්නේ.
ලස්සන වගේ භෞතික දේවල්වලට ආසා කරලා..ඒ පස්සේ වැටිලා..අන්තිමේදී ජීවිතය අතරමගදී දාලා යන තරුණ අය කොයිතරම් අපේ සමාජයේ ඉන්නවද…ඒත් අවලස්සනයි කියලා කාගෙන්වත් ආදරයක් නොලබා ජීවිතය දාලා ගිය අය ගැන ඔයාලා අහලා තියෙනවද…කවදාවත් නැතුව ඇති. මොකද ඒ වගේ අවලස්සන අය හිතින් ගොඩාක් ශක්තිමත්. බුද්ධිය අතින් ගොඩාක් ඉහළින් ඉන්නේ. ඒ නිසා එයාලා කවදාවත් හැඟීම්වලට වහල් වෙන්නේ නෑ. ජීවිතයේ වටිනාකම අවබෝධ කරගෙන ඒ තුළින් අනාගතය ජයගන්න හිතනවා හැරෙන්න ලස්සන වගේ භෞතික දේවල්වලට ජීවිතය පාවලා දෙන්නේ නෑ.
ලෝකය ජයගන්නේ ඒ අයයි. මේ යථාර්ථය තේරුම් ගන්න පුළුවන් නම් තරුණ ජීවිත කොයිතරම් සුන්දර වේවිද..?




