Press "Enter" to skip to content

මුදල් පසුපස හඹා ගිහින් අවසානයේ නැවතුණේ ලිංගාශ්‍රිත රෝග සායනයක.

ජාතික ලිංගාශි‍්‍රත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ
වෛද්‍ය සිසිර ලියනගේ
ඔබට මතකද ජීවිතයේ ඔබ මුහුණ දුන් හොඳම අත්දැකීම. එසේත් නැතිනම් මතකද ඔබ මුහුණ දුන් නරකම අත්දැකීම. ඇතැම්විට ඔබට මේ කුමන අත්දැකීමකට මුහුණ දෙන්නට සිදු වුණත් ඒ අත්දැකීම් ඔබගේ ඉදිරි ජීවිතයට විශාල මාර්ගෝපදේශනයක්. මේ බව ඇතැම්විට ඔබ නොදන්නවා වුණත්, අත්දැකීම් හරහා ඔබ ලබන පන්නරය ස්වභාවිකවම ඔබගේ ජීවිතයේ විවිධ තීන්දු තීරණ ගැනීමේදී ඔබට විශාල ශක්තියක්.

රාධිකාගේ අම්මා එයා පොඩි කාලේ ඉදලම වින්දේ දුකම විතරයි. තාත්තත් නැතිව. රාධිකාව උස් මහත් කරන්න ලක්ෂ්මි වින්ද දුක් දන්නේ අහසේ ඉන්න දෙවියෝ විතරයි. උදේට රාධිකාව ඉස්කෝලේ යවලා, ජීවත් වෙන්න අතේ ඇට කටු ගෙවෙනකම් තේ දළු කඩලා හරියට වේලක් වත් බඩට නොකා ලක්ෂ්මි ගත කළ ජීවිතේ තිබුණු දුක, වේදනාව හිතා ගන්නවත් බැරි තරම්. ලක්ෂ්මිට තමන්ගේ කියලා කාත් කවුරුත් නැති වුණත් රාධිකාට වයස අවුරුදු 15, 16 ක් වෙනකම් එයාව හොඳට රැකබලා ගන්න පුළුවන් වුණා. රාධිකා ඉගෙන ගන්න බොහෝම දක්ෂ දරුවෙක්. එත් විභාගේ ලියන්නත් කලිං ලක්ෂ්මිට අංශභාගේ හැදිලා ලෙඩ ඇඳට වැටුණා. තමන් මේ ලෝකේ දන්න කෙනෙක්ට කියල හිටියේ තමන්ගේ අම්මා විතරයි. අම්මාවත් රැකබලා ගෙන කොහොමහරි ජීවත් වෙන්නත් වුවමනා නිසා අසරණ රාධිකා අම්මගේ රස්සාව කරන්න පටන් ගත්තා. අසරණ දුප්පත් දැරියක් වුණත් රාධිකාට තිබුණු ලස්සන ඒ ගමේ කාටවත් තිබුණේ නැහැ. මේ හින්දම අනිත් අයට වඩා වැඩිපුර සැලකිල්ලක් වත්තේ හිටපු ලොකු මහත්තයාගෙන් රාධිකාට ලැබුණා. ලොකු මහත්තයා අනිත් අයට වඩා තමන්ට කරුණාවන්ත බව රාධිකා ගෙදර ඇවිත් අම්මට කියන කොට ලක්ෂ්මිටත් හිතා ගන්නවත් බැරිව ගියා. ඒත් ලක්ෂ්මිට තිබුණු අසනීපෙත් එක්ක මොනවා කරන්න ද කියලා හිතා ගන්න තරම් වත් පුළුවන් වුණේ නැහැ. වැඩි කලෙයක් යන්න කලිං රාධිකා ලොකු මහත්තයාගේ ළඟ වෙනත් රස්සාවක් ලැබුණා. “තේ දළු කඩන රස්සාව කරනවට වඩා උඹට මම වැඩි පඩියක් දෙනවා. අනික ඔය සොච්චමින් උඹට හොඳට ඇඳලාවත් ඉන්න පුළුවන්ද?

අම්මාව සනීප කරන්නවත් පුළුවන් වෙයි කියලා හිතාගෙන රාධිකා මේ යෝජනාවට කැමති වුණත් එයා රස්සාවට යන්න කලිං දවසේ ලක්ෂ්මි රාධිකාව තනි කරලා මේ ලෝකෙන් සඳහටම සමු ගත්තා. වත්තේ ලොකු මහත්තයාට කටුනායක පැත්තේ ගාමන් ෆැක්ට්‍රියක් තියෙනවා. මෙහෙට වෙලා තේ දළු කඩලා උඹට දුක් විදලා ජීවත් වෙනවට වැඩිය තුන්වේලම හොඳට කාල ඇඳලාවත් ඉන්න ලැබේවි කියලා ගමේ කට්ටිය ඔක්කෝම කිව්වේ.

මේ නිසාම ලොකු මහත්තයාත් එක්ක කටුනායක ඇවිත් ඒ ළඟම තැනක නැවතුණු රාධිකාට ගාමන්ට් රස්සාව එක්කම ලොකු මහත්තයාගේ වුවමනාවල් පවා ඉෂ්ට කරන්න වුණා. රාධිකාට මේ ජීවිතේ ගැන හිතට වේදනාවක් ඇති වුණත් එයාට ෆැක්ට්‍රියේ රස්සාව හොඳට හිතට ඇල්ලුවා. එයාට මැහුම් පැත්තෙන් තිබුණු දක්ෂකම හින්දම වැඩිකල් යන්න කලින් හොඳ තනතුරකට එන්න පුළුවන් වුණා. ඒත් යාළුවෝ ඔක්කොම කිව්වේ ලොකු මහතත්තයා නිසා එයාට මේ තනතුර ලැබුණා කියලා. වැඩි කාලයක් යන්න කලින් සල්ලි ප්‍රශ්නයක් නිසා එයාලගේ ගාමන්ට් එක වහන්න වුණා. ලොකු මහත්තයාට හදිසියේ වෙන රටක පදිංචියට යන්න සිද්ධ වුණා. අසරණ රාධිකා නැවත වරක් ලොකු ගැටලුවකට මැදි වුණා. දන්න කියන කවුරුත් එයාට උදව් කරන්න ඉදිරිපත් වුනේ නැහැ. අවසානෙට එයාට ඉතුරු වුණේ තමන්ගේ ශරීරය විකුණලා කීයක් හරි හොයා ගන්න එක විතරයි. ඒත් රාධිකා මේ රස්සාව කළේ ටෙලිෆෝන් එකෙන් දන්න අදුනන පිරිසක් එක්ක. ඒ වගේම එයා මාස 06 කට වරක් ලිංගාශ්‍රිත රෝග සායනයටත් ගිහින් තමන්ට ප්‍රශ්න තිබෙනවාද කියලත් පරීක්ෂා කර ගත්තා.

දවසක් හදිසියේ රාධිකාට එක්තරා නරක සිද්ධියකට මුහුණ දෙන්නට සිද්ධ වුණා. රාධිකා දන්න කියන කෙනෙක් ලබා දුන්න ඇමතුමකට එයා වෙනදා යන තැනකට එන්න කිව්වත් රාධිකා එතැනට යනකොට එතැන හිටියේ වෙන කෙනෙක්. ඒත් කවුරු වුණත් ඒ වෙලාවේ රාධිකාට වුවමනා වුණේ සල්ලි නිසා ඒ කෙනා එක්ක වෙන තැනකට යන්න එයා කැමති වුණා.

රාධිකා තමන්ට මුණ ගැසුණු තැනැත්තා එක්ක බොහොම කැමැත්තෙන් හෝටල් කාමරය ට ගියත් එතැන එක් කෙනෙකු ට වැඩි පිරිසක් හිටියා. ඒත් රාධිකාට මේ කිසිදෙයක් ඒ තරම් බරපතළ විදිහට නොදැනුණේ පිරිස වැඩි වෙනකොට අතට ලැබෙන ගණනත් වැඩි නිසයි. එදා දවසම මේ පිරිස එක්ක ගත කළ රාධිකාව නැවත නවාතැනට රැගෙන යන බවත් අතරමඟදී මුදල් ලබාදෙන බව කිව්වත් සිද්ධ වුණේ ඇයව මුලා කිරීමක් විතරයි. එදා ඇයට තමන් කරන රස්සාව ගැන පුදුමාකාර පිළිකුලක්, කේන්තියක් විතරක් නෙවෙයි දරා ගන්න බැරි තරම් දුකක් වේදනාවක් ඇති වුණා.

මේ සිදුවීමෙන් පස්සේ එයා සුපුරුදු විදිහට ලිංගාශි‍්‍රත රෝග සායනයේ පරික්ෂාවට ගියත් නැවත ලිංගික වෘත්තියේ යෙදෙන්න තරම් හිත හයිය කර ගන්න පුළුවන් වුණේ නැහැ.

මේ සිද්ධිය නිසා රාධිකා විෂාදමය තත්ත්වයට පත් වුණා. ඒ විතරක් නොවෙයි කලින් කිසිම රෝගයක් නොතිබුණත් එයාට මේ සිදුවීමෙන් පස්සේ ගොනෝරියාව පවා වැළඳිලා තිබුණා.

ලිංගාශි‍්‍රත රෝග සායනයෙන් රාධිකාට වැළඳුණු කායික රෝගයට ප්‍රතිකාර කරනවා වගේම මානසිකවත් ඇති වුණු ප්‍රශ්නයට පිළිතුරු, රාධිකාට ලබා දෙන්නට උත්සාහ කළා. මෙම සායනවලදී රාධිකාට ලැබුණු මනෝ වෛද්‍ය උපදේශනයෙන් පස්සේ සමාජ සේවා ආයතනයක මැදිහත් වීමෙන් එයාට මැහුම් ක්ෂේත්‍රයේම නැවත රැකියාවක් සොයා ගන්නට හැකි වුණා. මේ වෙනකොට රාධිකා ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් ඉන්නවා විතරක් නෙවෙයි විවාහ වෙලා දරුවෙකුත් බිහි කරන්න සූදානම්.

පුවත් පතක් ඇසුරෙනි…………………