ඒ සිද්දියෙන් පස්සේ මම හිතාගත්තා – ඒ තමයි මං ඩිලිවර් කරපු අන්තිම පීට්සා එක කියලා.
මං ටියුෂන් ගුරුවරයෙක්. ඉගැන්නුවෙ කෙමෙස්ට්‍රි.ටියුෂන් කියන්නෙ හරියට කරනවා නම් මිනිහෙකුට ගොඩ යන්න පුළුවන් පාරක්. මගෙ ජීවිතෙත් වැඩි හරියක් ගෙවුණෙ ටියුෂන් පංති එක්ක. හැම අවුරුද්දෙ ම ළමයි දෙතුන්දහක් ඒ ලෙවල්ස්වලට ලෑස්ති කරන එක මගේ ජීවිතේට සාමාන්‍ය දෙයක්. හැම දරුවෙක් ම මට එක වගේ කියලා කියන්න නම් බෑ. හැබැයි කාටවත් විශේෂයක් නොකර ඉන්න මං උත්සාහ කළා. ඒ වුණත් මේ සැරේ තේනුක වෙනුවෙන් මං නොසෑහෙන්න මහන්සි වුණා. වෙන කවුරුවත් වෙනුවෙන් නොවුණ තරමට. රෑ දවල් නැතුව ගෙදරට ම ගෙන්නලා ඉගැන්නුවා. ඒ දරුවා විභාගෙට කොච්චර බය වෙලා හිටියද ඒ තරමට ම මාත් බය වුණා. ඒ හැමදේකට ම හේතුවක් තිබුණා.
මීට අවුරුද්දකට කලින් තේනුක මාව හොයාගෙන ආව විදිහ මට අදටත් හොඳට මතකයි. ඩෙනිම් කලිසමට ටී ෂර්ට් එක යටකරලා, බාටා දෙක දාන් ආපු, සුදු කෙට්ටු කොල්ලෙක් පංතියේ දොර ගාව නැවතිලා, මං උගන්නන දිහා බලන් හිටියා. හරියට මොනවා හරි කියන්න වගේ. ඒ බැල්ම මගහැරලා පාඩම කරගෙන යන්න හැදුවත් මට ඕනෙ වුණේ ඒ දරුවා ආව කාරණාව දැනගන්න. ඉතිං මං උගන්නන වැඩේ පොඩ්ඩකට නවත්තලා පංතියෙන් එළියට ගියා.
“ඇයි පුතා?”
කොල්ලා සද්ද නෑ. කියන්නෙ මොනවද කියලා හිතාගන්න බැරුව වගේ ඔහේ බලාගෙන ඉන්නවා.
“මොකක්ද වෙන්න ඕනෙ?” මං ආයෙත් ඇහුවා.
“මට ආයෙමත් විභාගෙ කරන්න ඕනෙ සර්. සර් මට උගන්නනවද?”
එතනින් පස්සේ තේනුක එයාගේ කතාව දිගට ම කියාගෙන ගියා. ඒ දරුවා මීට අවුරුදු හතකට කලින් සයන්ස්වලින් ඒ ලෙවල්ස් කරපු ළමයෙක්. බයෝ ඇරෙන්න අනිත් විෂයන් දෙක ම ෆේල්. කෙමෙස්ට්‍රි කරලා තියෙන්නෙ මගේ ළඟ.ඕ ලෙවල්වලදි A 7කුත් B 3කුත් අරගෙන හොඳට ම පාස් වෙච්ච කොල්ලට ඒ ලෙවල්ස් යන්තමින්වත් ගොඩදාගන්න බැරි වෙලා. හේතුව ඇහුවම කොල්ලා කිව්වෙ “චර්යාවෙ වැරැද්ද සර්” කියලා.
“ඉතින් ඇයි මෙච්චර කාලෙකට පස්සෙ හදිසියෙම හිතුවෙ ආයෙත් විභාගෙ ගන්නවා කියලා?” ඒ මගේ ඊළඟ ප්‍රශ්නෙ.
මං දන්නෙ නෑ සර්… මට මහා අසරණකමක් දැනෙනවා. ඒ දවස්වල විභාගෙ ෆේල් වුණ එක මට ඒ හැටි දැනුණෙ නෑ. කාලයක් යනකම් ඔය එක එක තැන්වල පොඩි පොඩි ජොබ් කරකර හිටියා. ඒ එකක්වත් හිතට අල්ලලා ගියේ නෑ. හොඳ ජොබ් එකක් හොයන්න ගියත් ඒ ලෙවල්ස් නැති එක ලොකු අඩුවක් වුණා. අන්තිමේ ඉතින් ජීවත් වෙන්න විදිහක් නැති තැන පීසා ඩිලිවර් කරන තැනක වැඩට ගියා.
“ඉතිං?” මං තේනුකගෙ කතාවට රුකුල් දුන්නා.
“එතන හරියන්නෙ නෑ සර්. කොච්චර වැඩ කළත් හරියට බැණුම් අහන්න වෙනවා. එතන බොස් මං තරම්වත් ඉගෙනගෙන නෑ. මහ මෝඩයෙක්. වෙලාවකට මිනිහගෙන් කුණු බැණුම් අහන්න වෙනවා මට, හැමෝම ඉස්සරහා. අනිත් ළමයින්ටත් බණිනවා. ඒත් උන්ට ඒවා ගාණක් නෑ. මං හැම දේමත් ඉවසගෙන හිටියා සර් ගොඩක් කල්. ඒත් අද උදේ පීසා ඩිලිවර් කරන්න ගියාමයි මට මේ හැමදේම එපා වුණේ.”
“ඇයි මොකද වුණේ?” මගේ කුතුහලය වැඩි වුණා.
“අද උදේ මට පීසා ඩිලිවර් කරන්න වුණා, ඩොක්ටර් කෙනෙක්ගෙ ගෙදරට. ඉතිං මං ගිහින් ඩෝ බෙල් එක ගහනකොට ම එහා පැත්තෙන් දොර ඇරියෙ ඒ ඩොක්ටර්. දැක්ක ගමන් මට ඒ මූණෙ හුරුපුරුදු ගතියක් තේරුණා. හරියට ම අඳුරගන්න විනාඩි දෙකතුනකට වැඩිය ගියේ නෑ.
ඒ සංඛ. මාත් එක්ක එක ඉස්කෝලෙ එකට ඉගෙනගත්ත මගේ හොඳ ම යාළුවෙක්. අද ඌ ඩොක්ටර් කෙනෙක්. ලොකු ගෙදරක ලොකු මිනිහෙක් වගේ සැපට ජීවත් වෙනවා. ඒත් මං? මට මං ගැන ම ලැජ්ජ හිතුණා. ඒ තමයි මං ඩිලිවර් කරපු අන්තිම පීසා එක. උන්හිටි තැන් අමතක වුණ මං සල්ලි ගන්නවත් ඉන්නෙ නැතුව එතනින් කෙලින් ම ආවෙ සර්ව හොයාගෙන. අනේ සර් මට කොහොම හරි විභාගෙ පාස් කරගන්න ඕනෙ. යන්තම් හරි විභාගෙ පාස් කරගෙන මොකක් හරි කරන්න පුළුවන් විදිහෙ ජොබ් එකක් හොයාගන්න ඕනෙ. අනේ මට උදව් කරන්න සර්.. ප්ලීස්.
ඔය පළවෙනි වතාව නෙවෙයි…මොකක් හරි කරුමෙකට මං පීසා ඩිලිවර් කරන්න යන හුඟක් තැන්වලදි දන්නකියන අය, ඉස්කෝලෙ යාළුවො එහෙම හරියට මුණගැහෙනවා. ඒ හැම වෙලාවෙ ම මට මහ කියාගන්න බැරි තරම් වේදනාවක් දැනෙනවා. අද නම් මට හොඳටම ඇති වුණා.මං ආයෙ යන්නෙ නෑ සර්.”
බිඳුණු කටහඬකින් එහෙම කියද්දි, කොල්ලා කොච්චර හංගන්න හැදුවත් ඒ ඇස්වල දිලිසුණු කදුළු මං දැක්කා.
එදා මං හිතාගත්තා කොහොමහරි කොල්ලට ඒ ලෙවල්ස් ගොඩදාලා දෙනවා කියලා. වෙලාවක් කලාවක් නැතුව මට පුළුවන් උපරිමය මං කළා. දැන් ඉතින් තියෙන්නෙ බලන් ඉන්න විතරයි…
ජීවිතේ අවංක ඉලක්ක, අරමුණු වෙනුවෙන් කැපවෙන්න වෙලාවක් නැති මිනිස්සුන්ට දවසක ඒ වෙනුවෙන් අඬන්න, පසුතැවෙන්න ඕන තරම් කාලෙ ලැබෙනවයි කියලා මං අහලා තිබුණා. තේනුකට එහෙම වෙන්න එපා. මට ඕනෙ එච්චරයි.
සමාවෙන්න කියන්න ලැජ්ජ වෙන්න ඕන නෑ. ඒ වගේමයි මතක තියාගන්න හැමතිස්සෙම සමාවෙන්න කියලා වැඳ වැටීගෙන කාගෙවත් පස්සෙන් යන්න ඕනත් නෑ.



