Press "Enter" to skip to content

බිලි පූජා තහනමට එරෙහිව යාපනය වැසියන් ගත් තීරණය මෙන්න.

යාපනය අර්ධද්වීපය තුළ පිහිටි කෝවිල් වල මින් ඉදිරියට සතුන් මරා බිලිපූජා පැවැත්වීම තහනම් බවට යාපනය මහධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චෙලියන් මහතා විසින් ලබා දුන් නඩු තීන්දුව අභියෝගයට ලක් කරමින් පෙත්සම් දෙකක් ඊයේ (12) දා යාපනය මහධිකරණය වෙත ඉදිරිපත් කොට තිබෙනවා.

මෙම පෙත්සම් දෙක ඉදිරිපත් කොට ඇත්තේ යාපනයේ කෝවිල් දෙකක භාරකාර මණ්ඩල දෙකක් විසින්.

එම පෙත්සම් දෙක මගින් ඉල්ලා ඇත්තේ වසර ගණනාවක සිට පැවත එන ආගමික සාම්ප්‍රදායක් මෙම නඩු තීන්දුව මගින් අත්හිටුවා තිබීම නිසා දෙවියන් පිළිබදව විශාල භක්තියකින් බිලි පූජා ලබාදෙන බැතිමතුන් විශාල පිරිසක් මානසික බිදවැටීමකට ලක්ව සිටින බවයි.

මේ තත්ත්වය නිසා ඔවුන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවද එම පෙත්සම් දෙක මගින් පෙන්වා දී තිබෙනවා.

පෙත්සම් දෙකේම වග උත්තර කරුවන් ලෙස නම් කොට ඇත්තේ නීතිපතිවරයායි.

මෙම පෙත්සම් දෙක සැලකිල්ලට ගත් යාපනය මහධිකරණය නීතිපතිවරයාගේ උපදෙස් මත පෙත්සම් දෙක සලකා බලන අන්දම ලබන පෙබරවාරි මස 2 දා ප්‍රකාශයට පත් කරන බවයි පෙත්සම් කරුවන්ට දැනුම් දී ඇත්තේ.