Press "Enter" to skip to content

කල්ලියට කණකොකා හැඩුවේ එයා මැරුවමයි – වෙඩි 13 කින් ඉරණම විසඳුනු කවුරුත් නොදත් සැලෝන් මංජුලාගේ ඇත්ත කතාව

අතුරුගිරිය නගර මධයේ සැලොන් සයොනාරා නමින් පවත්වාගෙන ගිය රූපලාවන්යාගාරයේ හිමිකාරියවූ මංජුලා අද වනවිට ජීවතුන් අතර නැත. පැහැපත් ඡවි කල්යානයකින් ද, ආකර්ෂණීය කෙස් කළඹකින්ද, සරාගී දෑසකින්ද, පියකරු මුහුණකින් ද ඉතා සුහදශීලී පරාර්ථකාමී ගතිගුණ වලින් ද යුතුවූ ඇයට මෙලොව ජීවත් වීමට ලැබුණු කාලය වූයේ අවුරුදු 41 පමණි. එලෙස ඇයට අකාලයේ මරු තුරුලට යෑමට සිදුවූයේ ඇය සතුවූ සුහදශීලී හා පරාර්ථකාමී ගතිගුණ වලින් පාතාල කල්ලි කාරයන් අයුතු ප්රයෝජන ගැනීමට ගත් උත්සාහය නිසාය. ඇයගේ ඝාතනය පිළිබඳ කොට්ටාව පොලිසියට තොරතුරු ලැබෙන්නේ 119 පණිවුඩයක් ලෙසටය. පසුගිය 30 වනිදා රාත්රී 9.00 ට පමණ ලැබුණු දුරකතන ඇමතුමෙන් කියා සිටියේ කොට්ටාව, පන්නිපිටිය, බාලිකා නිවාස පාරේ අංක 170/1, දරණ නිවසේ වෙඩි තබා කාන්තාවක් ඝාතනය කර ඇති බවය. ලද තොරතුරට අනුව ක්රියාත්මකවූ පොලීසිය පන්නිපිටිය, බාලිකා නිවාස පාර බලා පිටත්විය. පොලිස් කණ්ඩායම එම නිවස අසලට පැමිණෙනවිට අසල්වැසියන් කිහිප දෙනෙකු එම නිවස අවට එක්රොක්ව සිටිනු දක්නට ලැබිණි. නිවස ඇතුලට ගිය පොලිස් කණ්ඩායම දුටුවේ වෙඩි පහරට ගොදුරුවූ කාන්තාව පඩිපෙළ අසල මුනින් අතට ලේ විලක් මත වැටී සිටින අයුරුය. ඇය මිය ගොසිනි. දුටු සැනින් ඇය මියගොස් ඇතිබව පෙනෙන්නට ඇත.

ඇය මංජුලා අබේරත්නය. අතුරුගිරිය සැලොන් සයොනාරා හි හිමිකාරිය වී සිටි මංජුලාය. ඇයගේ රන්වන් පැහැති සිරුර රක්ත වර්ණ රුධිරයෙන් නැහැවී ගොසිණි. වෙඩි පහර එල්ලවී ඇත්තේ හිස ප්රදේශයට බව පෙනෙන්නට ඇත. වෙලාව රාත්රී 9 ද පසුව ඇති බැවින් පසුදිනට පරීක්ෂණ කල් තැබූ පොලීසිය නිවසේ අපරාධ ස්ථානයක් ලෙස නම් කොට ආරක්ෂාව යෙදීය. සිද්ධිය වන විට නිවසේ සිටි මංජුලාගේ නැන්දම්මා, මාමන්ඩිය සහ දරු දෙදෙනා දැඩි ලෙස බියටපත්ව සිටී. වෙඩි තැබීම සිදුවන විට මංජුලාගේ සැමියා නිවසේ සිට නැත. ඔහු යන විට ගේට්ටුව වසා දමාගෙන ගොස් නොතිබූ බැවින් අපරාධකරුවන් පැමිණි යතුරු පැදිය වත්තට ඇතුල් කිරීමට අවස්ථාව ලැබී තිබිණි. එලෙස නිවස අසලම යතුරුපැදිය නතර කළ පිස්තෝලකරුවන් දෙදෙනා දොරට ගසන ශබ්දය ඇසී තිබුණේ නැන්දම්මාටය. ඒ වන විට මංජුලා දිරිපස කාමරයේ ජංගම දුරකථනයෙන් අන්තර්ජාලයේ සැරිසරමින් සිට ඇති අතර ඇයගේ දරු දෙදෙනා හා මාමන්ඩිය සිට ඇත්තේ පසුපස කාමරයේය. දරු දෙදෙනා සීයා ද සමඟ රූපවාහිනී නරඹමින්, සෙල්ලම් කරමින් විනෝද වෙමින් සිට ඇත. කාමර තුනකින් සමන්විත මෙම නිවසේ සෑම කාමරයකම රූපවාහිනී යන්ත්ර ඇත. නැන්දම්මා සිට ඇත්තේ අනෙත් කාමරයේ රූපවාහිනී නරඹමිනි. කවුරුන්හෝ දොරට තට්ටු කරන හඬ ඇසුනු ඇය ඒ කවුරුන්දැයි දැනගැනීම සඳහා දොර විවර කළාය. දොර විවර වනවාත් සමඟම දොර ද, ඇයද, තල්ලු කරගෙන තරුණ කොලු ගැටව් දෙදෙනෙකු නිවසේ ඇතුලට පැන්නේ පිස්තෝල දෙකක් ද අතැතිවය. දෙදෙනාම ෆුල් ෆේස් හෙල්මට් පැළඳ ඇති බැවින් හඳුනාගත නොහැකිය. දෙදෙනාම හැඳ සිටියේ කොට කලිසම්ය. සිදුවූ දෙයින් බියටපත් නැන්දම්මා වට පිට බලද්දී එක් පිස්තෝල කරුවෙකු පඩිපෙළ නැඟ ඉහල මාලයට යන අයුරු දුටුවාය.

එහෙත් ඉහල මාලය සාදා නැත. අනෙත් පුද්ගලයා ඉදිරිපස කාමරයේ දොර රෙද්ද ඈත්කොට ස්විචය දමා විදුලි බුබුල දැල්විය. ඒ වනවිට රාත්රී නිදන ඇඳුමින් සැරසී ඇඳට වී අන්තර්ජාලයේ සැරිසරමින් සිටි මංජුලා කාමරයට පැමිණි පුද්ගලයා දැක දැඩි ලෙස කලබලයට පත් වන්නට ඇත. කාමරයෙන් එළියට පැනගත් ඇය දුටුවේ පිස්තොල කරුවන් දෙදෙනෙකු තම නිවස ආක්රමණය කර ඇති බවයි. දැන් කළ යුතු කිසිවක් නැත. මරණ තර්ජන තිබූ බව ඇයට මතක් වන්නට ඇත. ඒ තර්ජන නිකම්ම නිකම් වචන නොවන බවත් තව නිමේෂයකින් සියල්ල අවසන් වන බවත් ඇයට සිතෙන්නට ඇත. ගඟේ සැඩ පහරට හසුව ගසාගෙන යන මිනිසා ජීවිතය බේරාගැනීම උදෙසා පිදුරු ගසක වූව එල්ලීමට උත්සාහ කරයි. ඒ සැවොම තම ජීවිතයට ආදරය කරන නිසාය. ජීවත් වීමට තිබෙන ආසාව නිසාය. “මොකද්ද අම්මේ මේ” යැයි කියමින් ඇය සිය නැන්දම්මාගේ ඇඟේ එල්ලෙන්නට ඇත්තේ ඇයට මුවාවී හෝ ජීවිතය බේරාගැනීමට හැකි වෙතැයි සිතා විය යුතුය. එහෙත් පිස්තොලකරුවන් පැමිණ තිබුණේ කෙලෙසක හෝ සිය ඉලක්කය සපුරාගෙන යාමට මිස අනුකම්පා සිතින් ආපසු හැරී යාමට නොවන වග මංජුලාට ද වැටහෙන්නට ඇත. නැන්දම්මාගේ ඇඟේ එල්ලී ජීවිතය අයැදිනා මංජුලා වෙත එල්ලවූ පළමු වෙඩිපහර කාගෙන ඇය පඩිපෙළ දිගේ ඉහලට දිවයාමට යම් උත්සාහයක් ගන්නට ඇත. ඒ සමඟම බියට පත් නැන්දම්මාද පසෙකට දිවගිය අතර ඊලඟට එල්ලවූ වෙඩිපහරින් මංජුලා මුනින් අතට බිම ඇදවැටෙන්නට ඇත. ඉන් අනතුරුව ඇයගේ හිස ප්රදේශයට එකපිට එක වෙඩි වරුසාවක් එල්ලකළ පිස්තෝලකරුවන් දෙදෙනා ආපසු යන අතර දොර අසල නතරවී නිවැසියන්ටද තර්ජනයක් ද කළේය. පරුෂ වචනයක් ද සමඟම ‘දඟලන්න එපා’ යැයි කී දෙදෙනා යතුරු පැදියට ගොඩවී යන්නට ගියේ හදවතේ තෙරපෙමින් තිබූ වෛරයක් පිරිමසා ගැනීමෙන් අනතුරුව සැහැල්ලු සිතින්, සතුටින් උද්දාමයට පත්වූ විලාශයකිනි. ඇයගේ හිස පොඩි වන තරමටම වෙඩිපහර වැදී ඇත. පරීක්ෂණ වලදී හෙළිවූයේ ඇය මරාදැමීම සඳහා වෙඩි උණ්ඩ 13 ක් වැය කර ඇතිබවය. ඇයට මෙවන් ඉරණමකට මුහුණ දීමට සිදුවූ හේතුව තතු දත් සියල්ලෝම දනිති. ඒ හේතුව ජනවාරි මස 17 වනදා සවස “සාලොන් සයොනාරා” හිදී ට්රනිල් බණ්ඩාර ධර්මසිරි නොහොත් අතුරුගිරියේ බණ්ඩා ඝාතනය කිරීමට ආධාර අනුබල දීමය. රණාලේ සමයං ගේ වෙඩික්කරු වූ ”ආමි අසංක” එදින රුපලාවන්යාගාරයට ගොස් ෆෙෂල් දමා දෑස් වසා නින්දත් අඩනින්දත් අතර සිටි බණ්ඩාගේ හිසට එක් වෙඩිපහරක් තබා යන්නට ගියේය. ඊට ආධාර අනුබල දුන් මංජුලාට කන්නට වුයේ පොලියත් සමගය. ඇය වෙත වෙඩි උණ්ඩ දහතුනක්ම එල්ල කරන්නට ඇත්තේ පැමිණි පිස්තෝල කරුවන් දෙදෙනා මංජුලා සමඟ දැඩි වෛරයකින් පසුවීම නිසා විය යුතුය. නොඑසේ නම් ඔවුන් දෙදෙනා පළපුරුදු වෙඩික්කරුවන් නොවන බැවින් ඉලක්කය වැරදියි යන්න සැකය මත මෙලෙස ඇය මිය ගිය බව පෙනෙන තුරුම දැනෙනතුරුම ඇයට වෙඩි තබන්නට ඇත. වත් පොහොසත් කම් ඇති පවුලක ඉපිද සැප සම්පත් විඳිමින් උස මහත් වූ මංජුලා මෙලෙස පාතාලයන්ගේ අතකොළුවක් වුයේ කෙසේද? වත් පොහොසත්කම් තිබුනද ඇයට මවුපියන් අහිමි වන්නේ බාල කාලයේදීමය. ඒ දෙදෙනාම මංජුලා කුඩා දැරියක සමයේ මිය යන අතර මුදල් හදල් සැප සම්පත් තිබුන ද මව්පිය මෙන්ම රැකවරණය ද අහිමි වූ ඇය හිතුවක්කාරියක වන්නට ඇත.

එලෙසම ආදරය මුල්කොට ගෙන විවාහ දිවියට ඇතුලත් වුව ද ඇය බලාපොරොත්තු වූ සුන්දර ලෝකය ඇයට හිමි නොවන්නට ඇත. ඇයට ජීවිතය වරදින්නේ සැමියාට පිටු පා වෙනත් අයගේ ආදරය සෙනෙහස සොයා යාමත් සමගය. ඊට එක් හේතුවක් වුයේ ආදරය සොයාගෙන යන ගමනේදී ඇය වරෙක නතර වූ පුද්ගලයා අතුරුගිරියේ ලඩියා කල්ලියේ සාමාජිකයකු වීමයි. වර්තමානය වන විට ඔහුට මනුෂ්ය ඝාතන දෙකකට නඩු පැවරී ඇත. ඔහු… එම ඝාතන දෙකේ සැකකරුවන් කණ්ඩායම අතරින් එක සාමාජිකයෙකි. අනිත් සාමාජිකයන් අතර බණ්ඩා ද විය. නලීන් චතුරංග නොහොත් අතුරුගිරියේ ලඩියා කල්ලියත් මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා ගේ කල්ලියත් ගජ මිතුරන්ය. උඳුගොඩ පැතිරන්නැහෙලාගේ අරුණ උදයන්ත නොහොත් රණාලේ සමයං මේ කල්ලි දෙක සමගම විරුද්ධය. අතුරුගිරිය ප්රදේශවාසීන් පවසන පරිදි ලඩියා කල්ලිය සමයං කල්ලියට එරෙහිව නැගී සිටින්නේ සමයං කල්ලිය සිය කුඩු ජාවාරමත් , කප්පම් ජාවාරමත් අතුරුගිරිය ප්රදේශයේද කරගෙන යාමට ගත් උත්සාහය නිසාය. ලඩියා කල්ලිය අතුරුගිරියේ කිසිම අයෙකුගෙන් කප්පම් නොගන්නා අතර කුඩු ජාවාරමට ද විරුද්ධ බව කියයි. එහෙත්… සමයං ගෙන් අතුරුගිරිය බේරාගැනීම උදෙසා ලඩියා කල්ලිය නැගී සිටිමින් ප්රදේශයට හොඳක් කිරීමට උත්සහ කරන අතරතුර ප්රදේශය පුරා බලය පතුරවාගෙන චන්ඩින් වීමට ගන්නා උත්සාහය නිසා මෙම කල්ලිය ප්රදේශවාසීන් අතර අප්රසාදයට ලක්වීමට මුලික විය. අතුරුගිරිය නගරයේ එවකට තිබු රාත්රී සමාජශාලාවේ බවුන්සර් කපා කොටා ඝාතනය කලේ මේ කල්ලිය විසිනි. බවුන්සර්ට එලෙස මෙම මැර ප්රහාරය එල්ල වුයේ ආවේලාවේ පැමිණ මත්පැන් ඉල්ලා දිය නොහැකි බවට හොටලයේ බාමන් පැවසීම නිසාය. බාමන්ට පහරදීමට යද්දී බවුන්සර් ඉදිරිපත්ව මත්පැන් ඉල්ලාගෙන පැමිණි පුද්ගලයන්ට පහර දී එලවා දමා ඇත. ඒ ඔහුගේ රාජකාරියයි. ඉන් කිපුණු ලඩියා කල්ලියේ දහ පහළොස් දෙනෙකු කඩු, මන්නා, පොරොව ආදිය රැගෙන ගොස් බවුන්සර්ව මරා දමන්නේ කෑලි කැපෙන තරමටම පහර දීමෙන් අනතුරුවය. එවකට මොවුන් මෙවැනි බලපුළුවන් කාරකම්වල යෙදුනේ හිටපු නියෝජ්ය ඇමති වරයෙකුගේ බලය සියතට ගෙනය. මෙම ඝාතනයට බණ්ඩා මෙන්ම මංජුලාගේ පෙම්වතාද ඇතුලට ගිය අතර ඇතුලේ සිටින පෙම්වතා ඇතුලු පිරිස වෙනුවෙන් මංජුලා කළ කැප කිරීම් බොහෝය. කලක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත එළියට එන පෙම්වතා මංජුලාට පිටුපා තරුණියක විවාහ කරගැනීම මංජුලාට දරාගැනීමට හැකි කරුණක් වූයේ නැත. එහෙත් ඇයට සිය ප්රේමය යළි ලබාගැනීම උදෙසා කළ හැකි දෙයක් තිබුණේ ද ඇත. ඇයට කළ හැකි එකම දේ වූයේ ඔහුට වෛර කිරීම පමණි. තමාට කළ අසාධාරණයට පළිගත යුතුයැයි සිතූ මංජුලා එය කළ හැකි ක්රමය කුමක්දැයි කල්පනා කළාය. එවිට ඇයගේ සිතට ආ අදහස වූයේ සමයංගේ කල්ලියට සහය දුන්නානම් මොහු මරවා දැමීම පහසු කරුණක් බවයි. එබැවින්…. ලඩියා කල්ලියේ සාමාජිකයින් සමඟ හිතවත්ව සිටින අතරතුර සමයං ගේ කල්ලියට රහසිගතව සම්බන්ධ වූ මංජුලා පිටු පෑ පෙම්වතාට පාඩමක් ඉගැන්වීමට මාන බලමින් සිටියාය. ලඩියා කල්ලිය විනාශ කිරීම සමයං කල්ලියේ එක් අවශ්යතාවකි.

මංජුලා ඉත්තා කරගෙන ලඩියා කල්ලි සාමාජිකයින් එකිනෙකා බිලී බා ගත හැකි බව කල්පනා කල සමයං මංජුලාට සහය දීමට ඉදිරිපත් විය. සමයං කල්ලියේ සිටි වෙඩික්කරුවකු වූ කැලුම් යන අය මංජුලාගේ ඥාතියෙකි. ඒ…. ඥාතිකම ද මංජුලා සමයං කල්ලියට එකතු වීමට එක් කරුණක් විය.. මේ අතර අතුරුගිරිය මිලේනියම් සිටි නිවෙසක දී නාමල් නම් වූ තරුණයා පිස්තෝල වෙඩි පහරකින් මිය ගිය අතර ඔහුගේ පියා පවා පවසා සිටියේ පුතා වෙඩි තබාගෙන සිය දිවි හානි කරගන්නට ඇති බවය. එහෙත්…. ලාබාල තරුණයකු වූ ඔහුට පිස්තෝලයක් ලැබුනේ කෙසේද , සිද්ධිය වන අවස්ථාවේ එම නිවසේ සිටි පිරිස කවුද යනාදී කරුණු සොයා පොලිසිය පරීක්ෂණ දියත් කළේය. එවිට… ලඩියා කල්ලියේ බණ්ඩා මෙන්ම මංජුලාට පිටු පෑ පෙම්වතා ද සිටි බව සනාථ විය. මිය ගිය තරුණයාගේ දේහය පිලිබඳ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වුයේ පපුවටම පිස්තෝලය තබා කවුරුන් හෝ ඔහුට වෙඩි තබා ඇති බවය. ඒ අනුව සිද්ධිය වූ නිවෙසේ සිටි පිරිස අත්අඩංගුවට පත් විය. මෙම කණ්ඩායම මාස කිහිපයකට පසු ඇප ලබා යලි එලියට පැමිණි අතර ඒ වනවිටත් මංජුලාගේ සිතෙහි වූ වෛරය සමනය වී තිබුනේ නැත. එහෙත්… සමයං කල්ලියට මංජුලාගේ පෙම්වතා මරා දැමීමට එතරම් අවශ්යතාවක් නොතිබුන අතර ඔවුන්ට බණ්ඩා මරා දැමීමේ දැඩි අවශ්යතාවක් තිබිණි. ”අපිට ඉස්සෙල්ලම බණ්ඩාව කොටු කරලා දෙන්නකෝ.. ඌව මරල දැම්මට පස්සේ ඔය අනික් එවුන් මරලා දාන එක ඒ තරම් අමාරු නැහැ.” මංජුලා ,බණ්ඩා ඝාතනය සඳහා සහය දීමට පෙළඹෙන්නේ සමයං ගේ ඒ වචන කෙරෙහි තැබූ විශ්වාසය නිසාය. මංගල උත්සවයට සහභාගි වීමට පෙර මුහුණට ආලෝකයක් ලබාගැනීම උදෙසා බංඩා මංජුලා ට කතාකරන්නේ ඔය අතරතුරේදීය. මංජුලා බණ්ඩාට දිනයක් සහ වෙලාවක් දෙන්නේ සමයංලාගේ කීමට අනුව ඔවුන්ට කැමති දියනක් සහ වේලාවකි. සමයං කල්ලිය මංජුලාගේ සහයෙන් බණ්ඩා මරා දැමිමේය. එහෙත් සමයං කල්ලියට කනකොකා හැඬුවේ බණ්ඩා මරාදැමීමෙන් පසුවය. බණ්ඩා මරාදැමීමත් සමඟ කුපිත වූ ලඩියා මෙන්ම අංගොඩ ලොක්කා ද සමයං මරාදැමීමට සැලසුම් කළේ මැදපෙරදිග රටක සිටින දරුණු පාතාලකල්ලි නායකයෙකු වන මාකඳුරේ මදුෂ් ගේද සහාය ඇතිවය. බණ්ඩා මරා දින 42 ක් ගෙවී යද්දී මදුෂ්ගේ මෙහෙයවීමෙන් අංගොඩ ලොක්කා ලඩියා ඇතුලු කල්ලිය සමයං ඇතුලු කල්ලි සාමාජිකයන් රැගත් බන්ධනාගාර බස් රථයකට කළුතරදී ප්රහාරයක් එල්ලකොට සමයං ඇතුලු කල්ලියේ 5 දෙනෙකු මරා දැමීය. ඒවන විට බණ්ඩා ඝාතනයට සැකපිට මංජුලාද අත්අඩංගුවට ගෙන සිටි අතර සමයං නැති ලොකයේ මංජුලා අතරමං වූවාය.

ඒ… තමාගේ ඉලක්කය සපුරාගැනීමට නොහැකිවීමත් ඉදිරියේදී තමාගේ සහයට කිසිවෙකුත් නොමැති වීමත් නිසාය. මාස කිහිපයකින් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ඇය ඇප මත එළියට ආවාය. එහෙත්…. එලෙස එළියට පැමිණ තිබුණේ ඇතුලට යද්දී සිටි මංජුලා නොව පාතාල නායිකාවකට සම කළ හැකි ගති ලක්ෂණ ආරූඩ කරගත් මංජුලා කෙනෙකි. ඇයට… සමයං පාර්ශවයේ තරුණයන්ගෙන් ආරක්ෂාව ලැබිණි. ඊට අමතරව රාජගිරිය ප්රදේශයේ සිටින කළු තුෂාර ලෙස හැඳින්වන තරුණයකු ද ඇයට ආරක්ෂාව සැපයීමට ඉදිරිපත් වූ බව කියයි. ඔහු… කලක් අංගොඩ ලොක්කගේ කල්ලියේ සිට පසුව කල්ලියෙන් ඉවත්ව සිටින අයෙකි. බණ්ඩා ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාවට ගොනු කෙරුණ නඩුව කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයේ විභාග වේ. එම නඩු විභාගය අවසන් වූ දිනෙක ඇයට දඬුවම් ලැබීමට ඉඩකඩ තිබිණි. එහෙත්… අංගොඩ ලොක්කා , ලඩියා කල්ලි අධිකරණයෙන් ලැබෙන දඬුවමට වඩා දැඩි දඬුවම් ඇයට ලබා දීමට තීරණය කර තිබුනේ බණ්ඩා මරා දැමුණු දිනයේ සිටය. මහාධිකරණයෙන් මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හෝ වෙනත් දඬුවමකට යටත් වීමට සිටි මංජුලාට ලඩියා කල්ලියේ අධිකරණය කල් වෙලා ඇතිවම නඩු නොඅසාම දඬුවම් ලබා දුන්නේය. ඒ මරණ දඬුවමය. හිස කුඩු පට්ටම් වන තරමට වෙඩි තබා ඇය මරා දැමීමය. අංගොඩ ලොක්කා ලඩියා කල්ලි වලට සම්බන්ධ දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකල බව සහතිකය. එහෙත්.. ඒ කවුරුන්ද යන්න පරීක්ෂණ කණ්ඩායම් වලට තවමත් සොයා ගැනීමට හැකි වී නැත. මේ පිළිබඳව පොලිස් අපරාධ අංශය ද මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය ද පරීක්ෂණ වල නිරතව සිටි. (උපුටාගැනීම පුවත් පතක් ඇසුරෙනි – තක්ෂිලා ජයසේකර )