ගීතා කුමාරසිංහව අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැ. රංගනයෙන් වගේම දේශපාලනයෙන් සාර්ථක චරිතයක් වූ ඇය නිරන්තරයෙන්ම කතාබහට ලක් වුණා. ඒ නිසාම ජනතාවගේ ආදරයත් ඇයට නිරන්තරයෙන්ම ලැබෙනවා. ඇය පුවත්පතකට මෙලෙසින් කතා කර තිබුණා.මේ ඒ ගැනයි.
මේ වෙන කොට ඔබ ඔබව හඳුන්වා දෙන්නේ කවුරුන් විදියටද?
මහජනයා වෙනුවෙන්ම කැපවූ මහජන සේවිකාවක් කිව්වොත් ගොඩක් කැමතියි. හැබැයි ඔබ කැමති නම් නිළියක් විදියට මා හඳුනාගත්තත් වරදක් නෑ.
දැන් ඔබ රඟපාන්නේ නැත්තේ ඇයි?
මම රඟපෑම පැත්තකට තියලා ජනතා සේවයට ආවා. මේ නිසා මුළු රටේම ජනතාව පහුගිය අවුරුදු 10 ඇතුළත මගේ රඟපෑමක් දැකලා නැහැ. දේශපාලන කටයුතුවලට යොමු වුණ හින්දා මට කලා කටයුතු වලින් ඈත් වෙන්න සිද්ධ වුණා.
දේශපාලනය කරන්න ගිහින් ගීතා කුමාරසිංහ කියන ප්‍රවීණ ජනප්‍රිය දක්ෂ නිළියගේ ප්‍රතිරූපයට හානියක් වුණා කියලා හිතෙන්නේ නැද්ද?
ඇයි අපි එහෙම හිතන්නේ. අද ලෝකේ ජනප්‍රිය නළු නිළියන් ලොකු ලොකු දේශපාලනඥයෝ වෙලා ඉන්නේ ඕන තරම්. ඉතින් නිළියක් වීමම මගේ දේශපාලන ජීවිතයට පහසුවක්නේ. මොකද මගේ නම කියූ සැණින් මිනිස්සු මාව දන්නවනේ.
ඔබ හිතන්නේ එදා ජනතාව අතර හිටපු ප්‍රවීණ, ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනිය තවමත් ජනතාව අතර ඉන්නවා කියන එකද?
ඔව්.හොඳ චිත්‍රපටයක හොඳ චරිතයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම එය බාර ගන්නවා.
අද තිබෙන සිනමාව ගැන ඔබ මොකද හිතන්නේ?
මට ඒ ගැන කතා කරන්න කලිින් ටිකක් අධ්‍යයනය කරන්න ඕනේ කාලයක් ක්ෂේත්‍රයේ හිටපු නැති නිසා එක පාරටම යමක් කියන්න බැහැ. මොකද මම වැරදි දෙයක් කිව්වොත් කාට හරි අසාධාරණයක් වෙන්න පුළුවන්.
පසුගිය කාලේ දේශපාලනයට ඇවිත් ඔබ බොහෝ දේ අහිමි කරගත්තා කියලා හිතෙන්නේ නැද්ද?
ඇත්ත. මං මගේ පුරවැසිභාවය පවා අහිමි කරගත්තා. මගේ සැමියා පවා මාත් එක්ක තදින්ම උරණ වුණා. ඒක එයාට විසඳන්න බැරි ප්‍රශ්නයක් වුණා. දැන් මට පුරවැසිභාවයත් නැති වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයත් නැති වුණා. ඒත් මට සැනසිල්ලකට තියෙන්නේ එදා වගේම අදටත් මට ආදරේ කරන ජනතාව මාත් එක්ක ඉන්න එකයි.
ඔබේ දුව ගැනත් විවිධ කට කතා පැතිරුණා නේද?
මගේ දුවව මේවාට ගාවගන්න එපා. මගේ දුව පත්තරවල පින්තූරයකට පවා පෙනී ඉන්න කැමති කෙනෙක් නෙමෙයි. මට මඩ ගහන අයට මම කියන්නේ ඕන මඩක් මට ගහන්න. මගේ දුවට පාඩුවේ ඉන්න දෙන්න කියලයි.