” මිස්ටර් ක්ලීන්”
අවශ්‍ය ඕනෑම වෙලාවක බැදුම්කර කොමිසම ඉස්සරහාට යන්න සූදානම් කියලා රනිල් කියලා තිබුණා. රනිල් කොහොමත් ඒක කරන්න ඕන. රනිල්ගෙන් අපි බලාපොරොත්තු වෙච්ච හුඟාක් දේවල් ගලේ ගහපු විදුරු පාත්තර වගේ වෙනකොට රනිල් මෙහෙම කියපු එක ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ගත්තාම මාර හයියක්.
රනිල් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදියෙක්. කොයිතරම් ප්‍රජාතන්ත්‍රවාදියෙක්ද කියනවානම් ලෝක ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ සභාපති වෙන්න තරම් රනිල් ප්‍රජාතන්ත්‍රවාදියෙක්.
දේශපාලන න්‍යායක් විදිහට ගත්තාම ප්‍රජාතන්ත්‍රවාදය පෙනී හිටින්නේ නූතන යුගයේ මේ ලෝකේ පහළ වෙච්ච මාරම අහිංසක, සුපිරි තියරියක් විදිහට. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ ඇත්ත ඊට වඩා වෙනස්.
කාර්මික විප්ලවයෙන් පස්සේ ලෝකේ පහල වෙච්ච අලුතෙන් සල්ලි හම්බ කරගත්ත පැලැන්තිය පාලනය කරන්න, පාලනය වෙන්න හදාගත්ත අලුත් ම තියරියට දාගත්තු නම තමයි ප්‍රජාතන්ත්‍රවාදය.
මධ්‍යතන යුගයේ යුරෝපයේ පැවැති අධිපතිවාදයට විකල්පයක් විදිහට හදා ගත්තු ප්‍රජාතන්ත්‍රවාදය එකී අධිපතිවාදයේම ගූඪ ස්වරූපය බව “ප්‍රජතන්තවාදය” කියන වචෙනවත් හරියට කියාගන්න බැරුව දගලන ලංකාවේ සෙනගටත් සමහරක් දේශපාලුවන්ටත් තේරෙන්නේ නැති බව රනිල් හොඳට දන්නවා. ඒ නිසා “දේවාලේ කපුවා රෙව්වාට ගඳ නෑ” කිව්වාහේ රනිල්ට දිගටම ප්‍රජාතන්ත්‍රවාදේ බඩඑළියේ යනවා.
පහුගිය අවුරුදු දෙකහාමාකරකට ආසන්න කාලයක් රනිල්ගේ මේ කෙරුවාව අපි බලාගෙන හිටියේ කටේ තියන්න එබැරි තරම් අප්පිරියාවෙන්.
ඒකේ උපරි ව්‍යුහය තමයි ඊයේ පෙරේදා දිනේශ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී කියන්නේ, “1987 ජූලි මාසේ 29 වැනිදා ඇඳරි නීතිය පනවලා තියෙද්දී එදා විපක්ෂ නායක අනුර බණ්ඩාරනායක හා මන්ත්‍රීවරුන් වන අපි ඒ නීතිය කඩලා පිටකොටුවේ උද්ඝෝෂණය කළා. නමුත් ජේ. ආර්. ජයවර්ධන මහත්මා අපිව අත්අඩංගුවට ගත්තේ නෑ. නීතිය මහජන මන්ත්‍රීවරුනට සාමාකාමී උද්ඝෝෂණයකදී බලපාන්නේ නෑ.” කියලා. ඊට පස්සේ කතානායක කරු ජයසූරියට දිනේෂ් කියනවා, “අද ඔබ තුමාව හයිජැක් කරලා පෙලීසිය” කියලා. මේ දිනේෂ් කියන්නේ වෙස්ට් මිනිස්ටර් පාර්ලිමේන්තුවේ කතානායකයව නොහොත් සමස්ත පාර්ලිමේන්තුවම “හයිජැක්” කරන්න තරම් සුපිරි අධිපතිවාදී බලයක් දේශපාලක බළල් අණ්ඩක් වෙච්ච සාගලගේ පොලිසියට තියෙනවා කියලද? මේක තමයි පාර්ලිමේන්තුවේම වයසට ගිය රනිල්ට තේරුණ දිනේෂ්ටත් නොතේරෙන ප්‍රජාතන්ත්‍රවාදයේ ගූඪත්වය.
දිනේෂ් ජේ. ආර්. ව මතක් කරපු නිසා රනිල් ට ජේ. ආර්. ව මතක් වෙච්ච වෙලාවක් මේ වෙලාවේ මට මතක් වෙනවා. ඒ 1998 හරි 99 හරි අවුරුද්ද. ජාතික යොවුන් පෙරමුණේ මුළු ලංකාවේම විධායක සභිකයන්ව කොල්ලුපිටියේ රේණුකා හෝටලේට කැඳවලා තිබුණා. ඒ දවස් දෙකක වැඩමුලුවකට. වර්ෂ 2000 දී බලයට එන රනිල්ගේ ආණ්ඩුව ක්‍රියාවට නැගිය යුතු සැළසුම් හදන්න එතැනදී අපිට පැවැරුණා. අධ්‍යාපන ප්‍රතිපත්ති, ආර්ථික ප්‍රතිපත්ති , දේශපාලන ප්‍රතිපත්ති, ආගමික ප්‍රතිපත්ති සංස්කෘතික ප්‍රතිපත්ති, මේ අතර වාරේ එක වෙලාවක රනිල් කියනවා, ජේ. ආර්. ගේ අන්තිම කලේ දවසක් ජේ. ආර්. රනිල්ට කිව්වාලු ජේ. ආර්. මේ රටේ ආර්ථිකේ ඇරියා. නමුත් සංස්කෘතිය අරින්න බරිවුණා. කවදා හරි මේ රටේ සංස්කෘතිය අරින එක රනිල්ගේ බලාපොරොත්තුව කියලා.
වමේ දේශපාලනේ කරපු දිනේෂ්ට ප්‍රජාතන්ත්‍රවාදේ තේරෙන්නේ නෑ. ඒ වගේම දිනේෂ්ට ජේ. ආර්. ව තේරුණාට තමන්ගේ පාසල් මිතුරා වෙච්ච රනිල්ව තේරෙන්නේ නෑ. ඒ වගේම ජේ. ආර්.ට අරින් බැරිවේච්ච හුගක් තැන්වලට රනිල් ඇරපු බව UNP කාරයන්ට තේරෙන්නේ නෑ.
රනිල් මහ දවාලේ මහ බැංකුවට ඇරියා කියලා සමහරු කියනවා. ඒක අහස පොලව වටපිටාව නූහූලන මහ බොරුවක් කියලා තවත් සමහරු කියනවා. කවුරු කවදා කෙලෙස කිව්වත් බැදුම්කරේ අන්තිම වාර්ථාව අරගෙන අධිකරණයට යනවා කියලා මහින්ද අමරවීර කියනවා. මේ ඔක්කෝම අතරේ යහපාලනේ ප්‍රබල ධුරයක් දරන කාන්තා චරිතයක් මට කියනවා ” බලන්නකෝ සමන්, මේ මනුස්සයා මේ මහදවාලේ මේ මහා බැංකු සිද්ධියට ගෑවිලා කරගත්තු විනාශයක්. මිස්ටර් ක්ලීන් කියලා නේද සමන් මේ මනුස්සයාට කිව්වේ? ඔක්කෝම ඉවරයි” කියලා.
” මිස්ටර් ක්ලීන්” රනිල්ව මිස්ටර් ක්ලීන් කෙරුවේ අපි. ” මිස්ටර් ක්ලීන්” කරන්න කලින් අපි රනිල්ව “තරුණ රනිල්” කෙරුවා. ඊට පස්සේ ඇමැරිකාවේ බිල් ක්ලින්ටන්ටත් වැඩිය ලිබරල් වාදියෙක් කෙරුවා. ඊට පස්සේ අපි රනිල්ව ආසියාවේ බිල් ක්ලින්ටන් කෙරුවා. ඇමැරිකාවේ බිල් ක්ලින්ටන් මොනිකාත් එක්ක පැටලිලා කොළේ ඉරා ගන්නකොට, චන්ද්‍රිකා “චෞර රැජින” වෙලා කිච වෙනකොට මහින්ද “සුනාමි හොරා” වෙලා පච වෙනකොට අපි රනිල්ව හිමින් හිමින් “මිස්ටර් ක්ලීන් “කෙරුවා.
ගොබෙල්ස් කියලා තියෙනවා එකම බොරුව සියපාරක් කියනකොට ඇත්ත වගේ වෙනවා කියලා.
රනිල්ගේ ගජ මිතුරෙක් වෙච්ච අර්ජුන් මහෙන්ද්‍රන් බැදුම්කරේදී කියනවා එයා හැම දේම කළේ රනිල් කිව්ව විදිහට කියලා.
බැදුම්කර වංචාව නිසා ආසන්න වශයෙන් රු. මිලියන 291 ක අලාභයක් ආණ්ඩුවට වෙලා කියලා කිව්වට රනිල් හිටියේ මුකුත් වෙච්ච නැති ගාණට. ඊටත් වැඩිය රනිල්ගේ කටේ තියන්න අමාරු දේ තමයි මේ වංචාව සම්පූර්ණයෙන්ම නිවැරදි එකක් විදිහට පෙන්නන්න එයාට පාක්ෂික නිතිඥ තුන්කට්ටුවක් දාගෙන වලිකාපු විදිහ.
මේ ඔක්කොම මෙහෙම වෙනකොට රනිල් කලින් කිව්වා වගේ එයා හෙට බැඳුම් කර කොමිසම ඉස්සරහාට යන්න ඕන. මම කලින් කිව්වා වගේ එයා එහෙම යන එක හොඳයි. ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් විතරක් නෙවෙයි, නිදහසින් පස්සේ සිංහල ඉතිහාස පොතේ රන් අකුරෙන් ලියවෙන කර්තව්‍යයක් විදිහට මේ ගැන පාරම්බාන රනිල්ගේ ගෝලබාලයන්ගේ නම්බුව බේරගන්නත් එක්ක අගමැති රනිල් හෙට මේ ගමන යන්නම ඕන. ගෝලයන්ගේ නම්බුව විතරද එතකොට රනිල්ගේ නම්බුව? එකනේ දැන් ප්‍රශනේ?
රනිල්ගේ නම්බුව “මිස්ටර් ක්ලීන්”. ඒක තමයි අපි රනිල්ට දීපු නම්බු නාමේ. රනිල් හෙට බැඳුම්කර කොමිසම ඉදිරියේ වැරදි කරුවෙක් වුණත් නැතත් රනිල් හැමදාම අපේ “මිස්ටර් ක්ලීන්”. රනිල් බැදුම්කර කොමිසම ඉදිරියේ නිවැරදි කරුවෙක් වුණොත් රනිල් ශ්‍රී ලංකා දේශපාලනයේ “ශුද්ධ” වන්තයා යන අර්ථයෙන් “මිස්ටර් ක්ලීන්” වනු ඇත. ඒ වගේම වැරදිලාවත් සිරිසේනගේ කොමිසම රනිල් වැරදි කාරයා කළොත් මහ දවාලේ මහ බැංකුව “සුද්ද” කරපු අර්ථයෙන් අපේ රනිල් “මිස්ටර් ක්ලීන්” ම වනු ඇත.
ඒ හින්දා බයවෙන්න එපා. මොනවා වුණත් හෙට අපේ රනිල් නම්බුව බේරන් ගෙදර එයි.




