Press "Enter" to skip to content

හඳුනා නොගත් රෝගයක් නිසා ඔත්පල වූ මවට ඇප උපස්ථාන කරන බෝසත් පුතා

අස්ථි රෝගයකින් ඔත්පලව සිටින මවට උපස්ථාන කරන පුතෙකු පිළිබඳ තොරතුරු ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුල්නෑව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

සඳුන් දිසානායක නම් වන වයස අවුරුදු 22ක් වූ මෙම තරුණයා කලා විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටියත් රැකියාවක් කිරීමට නොහැකි වී තිබෙන්නේ මව රැකබලා ගැනීම සඳහා කිසිවෙකුත් නොමැති හේතුවෙන්.

සඳුන්ගේ මව 52 හැවිරිදි එරන්දි මනමේන්ද්‍රයි.

මීට වසර 2කට ඉහතදී සඳුන්ගේ පියා වන ඩබ්.එම්. දිසානායක හෘදයාබාධයකින් මිය ගොස් තිබෙනවා.

පවුලේ එකම දරුවා වූ සඳුන් රෙදි සෝදා, කවා, පොවා, නහවා, ශරීර කෘත්‍ය ඉටුකිරීම දක්වා මවගේ සියලු වැඩකටයුතු නොපිරිහෙලා ඉටු කරනු ලබනවා.

අසල්වැසියන්ගේ උදව් උපකාරයෙන් දවස සරි කර ගැනීමටත්, මවට අවශ්‍ය වෛද්‍ය උපකාර ලබා දීමටත් සඳුන්ට සිදුව තිබෙනවා.

සඳුන්ගේ මවගේ කොඳුඇටපෙළ අස්ථි බිඳීමකට ලක්ව ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

ඇයගේ එක් අතක අස්ථි සම්පූර්ණයෙන්ම බිඳී ගොස් තිබෙනවා.

අනුරාධපුර මහ රෝහලේ දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලබා ඇය මේ වනවිට පුතුගේ උපකාරයෙන් සිය නිවසේ ඇඳෙහි දිවි ගෙවනවා.

පරිත්‍යාගශීලී කිසිවෙකුගේ උපකාරය මත සඳුන් බලාපොරොත්තු වන්නේ තම මව කෙසේ හෝ සුව කර ගැනීමටයි.